ස්ත්‍රීත්වය දෙස මානව දයාවෙන් යුතු බැල්මක්

සිංහල නව කතාව,කෙටි කතාව,කවිය,ගීතය,ගුවන් විදුලි පිටපත් රචනය වගේ කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් කෙරෙහි විශේෂ ප්‍රතිභාවක් දක්වන ජයන්ත කලුපහන නාමය වසර හතලිහක් තිස්සේ අප රටේ බොහෝ දෙනකුට ඉතා හොඳින් හුරු පුරුදු බවට කිසිම සැකයක් නැහැ.ඉහත සඳහන් ක්ෂේත්‍ර වලට සම්බන්ධ කලාකරුවන් විවිධ අනන්‍යතා ලක්ෂණ මුල් කොට තමන්ගේ ප්‍රතිභාවන් දක්වන අතරේ ජයන්ත කලුපහන ගේ ප්‍රතිභා අනන්‍යතාව මානව දයාව කේන්ද්‍ර කර ගත් එකක් බව ඔහුගේ නිර්මාණ පරීක්ෂාවේදී ඉතා හොඳින් තහවුරු කර ගන්න පුළුවන්.මේ අතර ජයන්ත කළුපහනගේ අළුත්ම සාහිත්‍ය කෘතිය”පොලිස් දැලට හසු වූ රෝස මල”කෙටි කතා සංග්‍රහයත් පසුගිය දිනයෙක නිකුත් වුණා.අද අපි Wall එක සඳහා තෝරා ගත් “නුඹට ලියූ කවි”ජයන්ත කළුපහනගේ අලුත්ම කවි පොකුරකින් නෙලා ගත් කවියක්.එදා මෙදා තුර අනන්ත අපරිමාණ කවි සඳහා පාදක වුණු ස්ත්‍රීත්වයේ බහු විධ ස්වරූපයන් අළලා මේ පැදි පෙළ නිර්මාණය කළ ජයන්ත ඒ තුළින් ද තම නිර්මාණ කුශලතා සඳහා කේන්දු කර ගත් මානව දයාව මැනැවින් පාදක කර ගෙන ඇති බවයි;අපගේ වැටහීම.

නුඹට ලියූ කවි

ආත්මයෙන් ආත්මයට
මියයමින් ඉපදී
මා හා එක්ව ආ
මිතුරිය නුඹයි
සති පූජා දර අතරේ
අමු අමුවේ පිළිස්සී
මහ හඩ තලමින්
මිය යන්නේ ඔබයි
නෙත් පමණක් පෙනෙන
බුර්කාවෙන් ගත වසාගෙන
ආසාවේ දුක් දොම්නස්
සඟවා ගන්නේ නුඹයි
දෙනෝ දාහක් අතර තනිවී
ආදරේ නාමයෙන් සදා
ගල් මුගුරු පහර කන
පවුකාර යුවතිය නුඹයි
නිබද අතීතයේ තනිවෙන
රන් කූඩුවේ දොරගුලු ලා
හිතුමතේට සිරගත වන
සදා සිරකාරිය නුඹයි
සම්ප්‍රදාය තුළ කොටු වී
හණ මිටි වට්ටියම පුදා
ජිවිතය රිදවමින්
අයදින්නේ ද නුඹයි
හඩන කදුළින් නෙත් පුරන
රෝස මල් සිහින නෙලා
සියතින් ම ගෙල සිදින
අසරණී නුඹයි
නීල දිය පොකුණ ඉදිරියේ
ගිනි වතුර ම පතන
අවසන් ගීතයට පද සොයන
හංස දේනුව ද නුඹයි

ජයන්ත කලුපහන

wall එක