සාර්ථක පවුලක “නිල නොලත්” පවුල් චිකිත්සකයා හඳුනා ගනිමු

පවුල් චිකිත්සාව යනු පවුලේ සාමාජිකයින් අතරේ අනොන්‍ය සම්බන්ධතාව වැඩි දියුණු කිරීමට සහ පවුලේ සාමාජිකයන් අතරේ ඇති විය හැකි ගැටුම් නිරාකරණය කිරීමට උපකාර කළ හැකි මනෝ විද්‍යාත්මක උපදේශන චිකිත්සාවකි.ලොව සම්මත ක්‍රමය අනුව පවුල් චිකිත්සාව සාමාන්‍යයෙන් මනෝ විද්‍යාඥයෙකු, සායනික සමාජ සේවකයෙකු හෝ බලපත්‍ර ලාභී චිකිත්සකයෙකු විසින් සපයනු ලැබේ. මෙම චිකිත්සකයින්ට උපාධි හෝ පශ්චාත් උපාධි ඇති අතර විවාහ සහ පවුල් චිකිත්සාව සඳහා වන ඇමරිකානු සංගමය (AAMFT) විසින් ඒ පිළිබඳ වෘත්තීය සුදුසුකම් ප්‍රදානය කරනු ලැබේ.එහෙත්,මේ කිසිදු සුදුසුකමක් නොමැති වුව ද බොහෝ පවුල් වල පවත්නා නොහොඳ නෝක්කාඩු කම් මඟ හරහා බිඳී වැටෙන්නට යන පවුල් සුරක්ෂා කොට දෙනු ලබන අපූරු පවුල් චිකිත්සකයකු බොහෝ නිවෙස් වල හිඳින බව ඔබ දන්නවාද?ඒ අප කවුරුත් “බලු”යන නිග්‍රහාත්මක නමින් හඳුන්වනු ලබන සුනඛයා ය. ආර්ථික අපහසුතා ඇතුළු අනේක විධ කරුණු මුල් කොට බරපතල මානසික ආතතියට පත් වන පවුල් සාමාජිකයන් ඉන් මුදා ගැනීමේ විස්මිත හැකියාවක් අපූරු පවුල් චිකිත්සකයාට ඇති බව මේ වන විට විද්‍යාත්මකව අනාවරණය වී තිබේ. Natalia de Souza Albuguergue,Kun Guo ආදීන් සුනඛයෝ සුනඛ සහ මිනිස් හැඟීම් හඳුනා ගනිති(Dogs recognize dog and human emotions) යන තේමාව ඔස්සේ 2016 දියත් කළ පර්යේෂණයකට අනුව සුනඛයන්ට මිනිසුන්ගේ චිත්තාවේග හඳුනා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කොට තිබේ.

සුනඛයා වෙතින් මිනිසා හට ලැබෙන ප්‍රතිලාභ අතර මුලින්ම තිබෙන්නේ ආරක්ෂාවයි. ඊට අමතරව සුනඛයන් වෙතින් මිනිසුන් හට අත්වන ප්‍රතිලාභ තවත් බොහොමයක් තිබේ. මේ අතර සුනඛයන් ඇති කිරීම, මිනිසාගේ හෘද සෞඛ්‍යයට අතිශය හිතකර ලෙස බලපෑම විශේෂයකි.
ඇමරිකානු හෘද සංගමය (American heart Association ) මගින් නිකුත් කරන ලද විද්‍යාත්මක ප්‍රකාශයක් දක්වන ආකාරයට මිනිසාගේ හෘද සෞඛ්‍යය නගා සිටුවීමට මෙන්ම, ආයු කාලය වැඩි කිරීමට ද සුනඛයන්ගෙන් අප නොසිතන අන්දමේ විස්මිත මෙහෙයක් ඉටු වෙයි.
මෙම ප්‍රකාශ නිකුත් කරන්නේ එක් එක් පුද්ගලයන් ගෙන් ලබාගන්නා අදහස් මත පමණක් නොවේ. දිගු කලක් පුරා කරනු ලබන විවිධ විද්‍යාත්මක පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන ඒකරාශී කිරීමෙන් ඇති කර ගන්නා පොදු සම්මුතියක් මත ය. එලෙස සකස් කරනු ලබන නිසාම මෙම ප්‍රකාශ අතිශයින් වගකීම් සහගත ය. ඒවා ලොව පුරා පොදු පිළිගැනීමට ලක් වනුයේ එබැවිනි. එම ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට සුනඛයන් ඇති කිරීම මූලික වශයෙන් මිනිසුන්ගේ හෘද සෞඛ්‍යය කෙරෙහි කිහිප ආකාරයකින් බලපායි.

හෘදයාබාධ හට ගැනීම කෙරෙහි බලපාන අවදානම් සාධක අතර ස්ථුලභාවය, අධික රුධිර පීඩනය, අධික කොලොස්ට්‍රෝල් සහ දියවැඩියාව මුල් තැනක් ගනී. ඒ සාධක ඉස්මතු වීමට බලපාන හේතු අතර ව්‍යායාම මඳ වීම සහ මානසික ආතතිය ප්‍රධාන ය.
ඇමරිකානු හෘද සංගමය මගින් නිකුත් කොට ඇති ඉහත කී විද්‍යාත්මක ප්‍රකාශනයෙන් තහවුරු කොට ඇත්තේ සුනඛයන් වැනි සුරතල් සතුන් ඇති කරන්නවුන් හට එලෙස සතුන් ඇති නොකරන අයට වඩා හෘද රෝග වැළඳීම කෙරෙහි ඉවහල් වන අවදානම් සාධක අඩු බව ය.
නිදසුනක් ලෙස අධික රුධිර පීඩනය සඳහා නිතිපතා ඖෂධ භාවිතා කරන අය අතරේ සිටින සුරතල් සතුන් ඇති කරන පුද්ගලයන් තම රෝගය සඳහා ගනු ලබන ඖෂධ මාත්‍රාවන් අනෙකුත් අයට සාපේක්ෂව පැහැදිලි අඩුවක් දක්නට ඇති බව ඇමෙරිකානු හෘද සංගමයේ විද්‍යාත්මක ප්‍රකාශනය පෙන්වා දෙයි.

එමෙන්ම අධික චිත්තවේගී අවස්ථාවන් මුල්කොට ස්වභාවිකවම ඉහළ නැංවෙන රුධිර පීඩන තත්ත්වය සෙසු අයට සාපේක්ෂව බලන කල සුනඛයන් සහ වෙනත් සුරතල් සතුන් ඇති කරන අය තුළ යම් අඩුවක් දක්නට ලැබෙන බව ද මෙම විද්‍යාත්මක ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් ය. එම රුධිර පීඩනය පහළ බැසීමේ වේගය ද සෙසු අයට සාපේක්ෂව සුරතල් සතුන් ඇති කරන අය තුළ වැඩි අගයකින් පෙන්නුම් කෙරෙන බවද මෙම ප්‍රකාශනය දක්වයි.
අධි කොලොස්ටරෝල් තත්ත්වය ද හෘදයාබාධ කෙරෙහි සෘජුවම බලපාන අවදානම් සාධකයකි. විශේෂයෙන් හෘද රෝග කෙරෙහි වැඩිපුර බලපාන නරක කොලොස්ටරෝල් නමින් ප්‍රකට LDL හෙවත් Low density lipoprotein සහ tryglycerides යන සංයුතීන් පාලනය සම්බන්ධයෙන් ද සුරතල් සතුන් ඇතිකිරීම ඉවහල් වන බව එම විද්‍යාත්මක ප්‍රකාශනය මගින් තහවුරු කොට ඇත.

සිත තුළ ඇති වන වෙනස් වීම් සහ කැළඹීම් නිසා ඇතිවන මානසික ආතතිය ද ශරීරයේ ජෛව රසායනික විෂමතාවයන්ට තුඩු දෙන බව මේ වන විට තහවුරු වී තිබේ. එමෙන්ම ඇමරිකානු හෘද සංගමයේ ප්‍රකාශනයෙන් පෙන්වා දෙන පරිදි සුරතල් සතුන් ඇති නොකරන අයට සාපේක්ෂව සුරතල් සතුන් ඇති කරන අය තුළ ආතති කළමනාකාර හැකියාව වර්ධනය වේ. එය ඔවුන්ගේ මානසික කායික නිරෝගීතාවය ආරක්ෂා වීමට හේතු වන බව මෙම ප්‍රකාශනය වැඩි දුරටත් පෙන්වා දෙයි. එයද හෘද සෞඛ්‍යය කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කරනු ලබන්නකි.
එසේම සුරතල් සතුන් ඇති කරන පුද්ගලයකුගේ ආහාර පාලනයට ද යම් අයුරකින් එය බලපාන අතර ස්ථුලභාවය මැඩලීම සඳහා මෙය හේතු වෙයි.

අපගේ අතීත ජන සමාජයේ පැවති ඉතා උතුම් සිරිතක් මෙහි දී සිහිපත් වේ. අතීත ගැමියා තමන් ගත් බත් පතින් කොටසක් නිවසේ ඇති දැඩි වන සුනඛයාට දීම සිරිතක් ව තිබිණි. ඔහු තම කුස පුරවා ගැනීම සිදු කළේ කිසියම් සදාචාරාත්මක මංපෙතකට අනුව ය. එය ඔහුගේ ජීවන යහපැවැත්මට හේතු විය. මෙම සදාචාර ධර්ම වර්තමාන සමාජයෙන් සීග්‍රයෙන් ගිලිහෙමින් පවතී.
කෙසේ වුවද සුනඛයන් ඇති කරන අතරේ අධික තෙල්, ලුණු, සීනි භාවිතය, දුම්පානය ආදී හෘද රෝග කෙරෙහි බලපාන අවදානම් සාධක ද පිටු දැකීමෙන් හෘද රෝගවලින් වැළකී දිගු කලක් ජීවත් වීමේ වාසනාව ඔබට ලැබෙනු ඇත.

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ නිවසේ ඇති දැඩි කිරීමට සුනඛයකු තෝරා ගැනීමේදී සුනඛ වෙළෙඳපොළ වෙත නොගොස් අකාරුණික මිනිසුන් විසින් මහ මගට ඇද දමනු ලබන සුනඛ පැටවකු තෝරා ගැනීම ඔබේ හදවත තුළ ඇති උතුම් මිනිස්කම පිළිබිඹු කරවන්නක් බව ය. එසේ අසරණ ලෙස මහ මඟ අතරමංව සිටින සුනඛයකු ඔබ හදා වඩා ගන්නා විට එම පැටවා නිරෝගිමත්ව වැඩෙන අතර මුළු ලෝකයටත් වඩා ඔහු ඔබට ආදරයද කරනු ඇත. ඒ ආදරය මිනිසුන් වෙතින් ලබාගත හැකි නම් ඒ ඉතා කලාතුරකිනි.ඒ අනුව අප “බලු”යන නිග්‍රහාත්මක නමින් හඳුන්වන විවිධ අගයන් රැසකින් පරිපූර්ණ මෙම “නිල නොලත්” පවුල් චිකිත්සකයාගෙන් අප ගේ ජීවිත වලට හිමි වන අමිල ආශීර්වාදය නිසි තක්සේරුවකට ලක් කිරීමේ කාලය මේ වන විට ද ශීඝ්‍රයෙන් පසු වෙමින් තිබෙන බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.

හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

එතෙර - මෙතෙර