සිඟිත්තාගේ බහ තේරීම ගැන ඔබත් කනස්සල්ලෙන්ද? 

sigiththa

සමහර සිඟිත්තෝ ඉක්මනින් වචන කතා කිරීම ආරම්භ කරති. තවත් සමහර සිඟිත්තන්ගේ බහ තේරීම ප්‍රමාද වෙයි. දරුවාගේ කතාබහ ප්‍රමාද වන විට මවුපියන් කලබල වීම ස්වභාවයකි. අපි අද සිඟිත්තන්ගේ මේ බහ තේරීම පිළිබඳව කතා කරමු.

සිඟිත්තෙකු ගේ භාෂාව වර්ධනය වීම ලෙස හඳුන්වන්නේ වචන කතා කිරීම පමණක් නොවේ. සිඟිත්තන් තම හැඟීම් සහ අවශ්‍යතා ප්‍රකාශ කරන වෙනත් විධි ද ඇත. බැල්මෙන්, හැඬීමෙන්, සිනාවෙන්, මව දෙස බැලීම තුළින් ආදී වශයෙන් වචන භාවිතා නොකර සිඟිත්තා සිය අවශ්‍යතා තම මවට, පියාට මෙන්ම නිවසේ වෙනත් වැඩිහිටියනට ද හඟවනු ඇත. මෙහිදී දරුවාට අනෙක් අය දක්වන ප්‍රතිචාර පසුකලෙකදී දරුවා තුළ වචන ඇතිවීම සඳහා උත්තේජනයක් වෙයි. සිඟිත්තා බිහි වූ දා සිටම සිඟිත්තා සමග සන්නිවේදනය අඩුවන විට වචන කතා කිරීම ප්‍රමාද විය හැකිය.

සාමාන්‍යයෙන් සිඟිත්තකු මුලින්ම හැඟීම් ප්‍රකාශ කරන්නේ වචන හෝ ශබ්දවලින් නොවේ. සිඟිත්තකු තම හැඟීම් ප්‍රකාශ කිරීමට මුල්ම කාලයේ යොදා ගන්නේ හැඬීම යි. දරුවා නිතර සුරතල් කිරීම, වඩා ගැනීම, නෑවීම ආදී මේ සෑම දෙයක්ම පසුකලෙක සිඟිත්තාගේ භාෂාව වර්ධනය වීම සඳහා බලපායි.
සාමාන්‍යයෙන් වයස මාස 8- 10 ක් පමණ වන තුරු සිඟිත්තා කතාව සඳහා යොදා ගන්නේ විවිධ ශබ්ද ය. මාස 10 ක් පමණ වන විට අසම්පූර්ණ වචන එකක් දෙකක් හෝ කිහිපයක් කතා කිරීම ආරම්භ කරනු ඇත. නිදසුනක් ලෙස තාත්තා යන්න “තාත්” ලෙසින් කිව හැකිය.

මේ කතාබහ තවදුරටත් වර්ධනය වී වයස අවුරුද්දක් පමණ වන විට සම්පූර්ණ වචන එකක් දෙකක් කතා කරනු ඇත. මෙය අවුරුදු එකහමාරක් පමණ දක්වා ප්‍රමාද වීම ද සිදුවිය හැකි අතර එය කිසිසේත් අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. දරුවා නිසි ලෙස වචන කතා නොකළත් අනෙකුත් දේවල් සාමාන්‍ය නම් ඒ ගැන බිය විය යුතු නොවේ. මෙහිදී අනෙකුත් දේවල් ලෙස අදහස් කළේ ඇවිදීම, වැඩිහිටියන් කියන දේවල්වලට ප්‍රතිචාර දැක්වීම, අධික ශබ්දවලට ප්‍රතිචාර දැක්වීම ආදියයි. මේවා සාමාන්‍ය නම් දරුවාගේ කතාබහ ප්‍රමාද වීම ගැන කලබල විය යුතු නැත.
සාමාන්‍යයෙන් අවුරුදු එකහමාර පසු වන විට වචන විස්සක් ,අවුරුදු දෙක පසු වන විට වචන දෙකක් එකට එකතු කර කීමේ හැකියාවක් සිඟිත්තන් තුළ ඇති වන බව දළ වශයෙන් දැක්වීමට පුළුවන. එහිදී ද අනෙකුත් හැසිරීම් ඉහත කී පරිදි සාමාන්‍යයෙන් නම් කතාව තවදුරටත් ප්‍රමාද වීම ගැන කරදර විය යුතු නැත. හේතුව, එක් එක් දරුවන් අතර භාෂාව වර්ධනය වන අවධියෙහි ලොකු වෙනස්කම් පැවතීම ය.

සාමාන්‍යයෙන් පිරිමි දරුවන්ට වඩා ඉක්මනින් ගැහැනු දරුවන් කතා කිරීම ආරම්භ කරනු ඇත. එයට හේතුව මොළයේ භාෂාව වර්ධනය පිරිමි දරුවන්ට වඩා ඉක්මනින් ගැහැනු දරුවන්ගේ සිදුවීමයි.
මව හෝ පියා කුඩා කල කතාබහ ආරම්භ කරන්නට ප්‍රමාද වූයේ නම් දරුවා ද කතා කිරීම ප්‍රමාද විය හැකිය. ඒ ජානවල පවතින තත්ත්වයක් නිසා සිදු වූවක් මිස දරුවාගේ ආබාධයක් නොවේ.
සිඟිත්තන්ගේ කතාබහ ඉක්මනින් වර්ධනය වීමට පරිසරයද බලපායි. නිවසේ තවත් කුඩා දරුවන් සිටින්නේ නම් සිඟිත්තන් ඉක්මනින් කතාබහ ආරම්භ කරනු ඇත. ඒ හැරුණු විට මව නිතර දරුවා සමග හිඳින්නේ නම් මව කතා කරන විට සිඟිත්තාද කතා කිරීමට පෙළඹේ.

පවුල යනු දැන් කුඩා ඒකකයකි. දරුවන්ට වැඩිමහල් සොයුරු සොයුරියන්ද බොහෝ විටම නැත. අසල්වැසියන් සමග සම්බන්ධතා පැවැත්වීම ද නාගරික පවුල්වල ඉතා අඩු ය. එනිසා සිඟිත්තකුට වචන ඉගෙන ගැනීමට ලැබෙන උත්තේජන සහ අවස්ථා අඩු වෙයි. එයද සිඟිත්තන්ගේ කතාබහ ප්‍රමාද වීමට බලපායි.

ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන පවුල්වල සිඟිත්තන්ට භාෂා දෙකෙන්ම කතා කිරීමේදී ද කතාබහ ප්‍රමාද වීමට පුළුවන. නමුත් මෙයින් අදහස් කරන්නේ භාෂා දෙකකින් එකවර කතා කිරීම නොකළ යුත්තක් ලෙස නොවේ. මුලින් භාෂා දෙකක් අල්ලා ගැනීම තරමක් ප්‍රමාද වුවත් මඳක් කල් යන විට දරුවා භාෂා දෙකම හොඳින් කතා කිරීමට හුරු වනු ඇත.
විවිධ හේතු නිසා දරුවන් බිය වීමද කතාබහ ප්‍රමාද වීම සඳහා බලපායි. එවැනි තත්ත්වයක් ඇත්නම් දරුවාගේ ඒ ගැටලුව පිළිබඳව සොයා බලා එය නිරාකරණය කර දිය යුතුය .

සාමාන්‍යයෙන් මුලින්ම කතාබහ ආරම්භ කරන සිඟිත්තකුට හරියටම නිවැරදි වචනය උච්චාරණය කිරීමට හැකියාවක් නැත. එනිසා දරුවා තමාට හැකි අයුරින් භාවිතා කරන වචන වැරදි වචන විය හැකිය. නිදසුනක් ගතහොත් “වතුර” යන වචනයට යම් සිඟිත්තකු “තේ” යනුවෙන් භාවිතා කිරීමට පුළුවන. එහිදී දරුවාට “වතුර” කියනවාට වඩා “තේ” යැයි කීම පහසු ය. මෙහිදී දරුවා වතුරවලටත් “තේ ” යැයි පවසන විට “ඒ තේ නෙමේ වතුර” යැයි නිවැරදි කරන්නට යාම සුදුසු නොවේ. හේතුව, එවැනි දෙයක් කී විට දරුවා තුළ නිවැරදි කුමක්ද යන්න ගැන ගැටලුවක් මතු වීම ය. එවිට දරුවා වැරදි ලෙස කී වචනය නිවැරදි කිරීමට යාම මෙන්ම එම වැරදි වචනයම දරුවා සමග ඔබද උච්චාරණය කිරීම ද නොකළ යුතුය. ඒ වෙනුවට කළ යුත්තේ මවුපියන් නිවැරදි වචනය කතා කිරීමයි. නිතර නිතර ම නිවැරදි වචනය ඇසෙන විට ඉබේම නිවැරදි වචනය උච්චාරණයට දරුවා හුරු වේ. එනිසා දරුවා වැරදි වචන උච්චාරණය කිරීම පිළිබඳව කනස්සලු විය යුතු නොවේ.

ඉහත කී සියලුම දේවල් සාමාන්‍ය ඒවා ය. ඉතා කලාතුරකින් යම් යම් රෝග තත්ත්ව නිසාද සිඟිත්තන් කතා නොකර හිඳින අවස්ථා තිබේ. එවැනි දරුවන්ගේ කතාබහ සිදු නොවීම මෙන්ම කන් ඇසීම ද අඩු ය. දරුවා කතා කිරීමට හුරු වන්නේ තමන්ට වචන ඇසෙන්නේ නම් පමණි. ඇසෙන යමක් නැත්නම් කතා කරන්නට ඉගෙන ගැනීමට දරුවාට හැකියාව ලැබෙන්නේ නැත. එනිසා කතාබහ කිරීම ප්‍රමාද වූ දරුවකුගේ කන් ඇසීම සාමාන්‍ය තත්ත්වයෙන් පවතින්නේ ද යන්න ගැන දැනගැනීමට ලොකු ශබ්දවලට දරුවා තිගැස්සීම, බියවීම සිහින් ශබ්දවලට ඇහුම්කන් දීම, හැරී බැලීම ආදිය සිදුවන්නේ නම් දරුවාගේ කන් ඇසීම යහපත් තත්ත්වයෙන් පවතින බව නිගමනය කළ හැකිය. එවැනි ප්‍රතිචාර නොදක්වන්නේ නම් හෝ අඩු නම් සහ ඇවිදීම, අවබෝධ කරගැනීම වැනි ක්‍රියාකාරකම් නිසිලෙස සිදු නොවන්නේ නම් දරුවා අනිවාර්යෙන්ම වෛද්‍යවරයකුට පෙන්විය යුතුය.

ළමා ⁣රෝග සහ ආසාත්මික රෝග විශේෂඥ  වෛද්‍ය අජිත් අමරසිංහ

ඉන්දු පෙරේරා

විනිවිද සායනය