ඉන්දුනීසියාවේ භූමිකම්පාවෙන් 268 ක් මරුට; වැඩි පිරිස පාසල් සිසුන්

ඉන්දුනීසියාවෙහි සිදු වූ දරුණුම මට්ටමේ භූමිකම්පාවක් ගැන පසුගිය සඳුදා (21) වාර්තා විය. ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූමිකම්පාව සිදු වූයේ එරට ජාවා දූපත්හි බටහිර ජාවා නැමැති පළාතේ කඳුකර ඉසව්වක ය. වඩාත්ම හානි සිදුව ඇත්තේ චියන්ජුර් නැමැති නගරයකට බව සඳහන් වේ. බටහිර ජාවා පළාත සැලකෙන්නේ ඉන්දුනීසියාවේ වැඩිම ජනගහණයක් සිටින පළාත ලෙසිනි.

සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 268 ක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. තවත් 150 කට ආසන්න පිරිසක් පිලිබඳව කිසිදු තොරතුරක් නොමැති බව ද එරට ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කර තිබිණි. 1,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත්, නිවාස 22,000 ක් පමණ විනාශ වී ඇති බවත් එම ආයතනය පවසයි. උන්හිටි තැන් අහිමිව ඇති සංඛ්‍යාව 58,000 ක් පමණ බව ද ඔවුන් අනාවරණය කර තිබිණි. මිය ගිය ගණන තවත් ඉහළ යා හැකි බව නිලධාරීන් ගේ අදහසයි.

භූමිකම්පාවෙන් මිය ගොස් ඇති අයගෙන් විශාල පිරිසක් පාසල් සිසුන් ය. මෙම සිද්ධිය සිදුව තිබුණේ සඳුදා පස්වරු 1 ට පමණ ය. එය පාසල් පැවැත්වෙමින් පැවැති වේලාවකි. පාසල් ගොඩනැගිලි කඩා වැටීම නිසා සහ නායයාම් නිසා මෙම සිසුන් මරණයට පත්ව තිබිණි. 14 හැවිරිදි අප්‍රිසාල් මුලයියාදි භූමිකම්පාවට හසු වී දිවි බේරාගත් සිසුවෙකි.

‘අපේ පන්ති කාමරයේ බිත්ති කඩා ගෙන වැටුණා. මගේ කකුල් දෙකම සුන්බුන්වලට යට වෙලා මාව හිර වුණා’ යයි ඔහු තමාගේ අත්දැකීම විස්තර කරමින් පවසා තිබේ. නමුත් ඔහු සුන්බුන් අතරින් බේරා ගැනීමට ඔහුගේ මිතුරකු වූ සුල්ෆිකාර්ට හැකි වී තිබිණි. නමුත් පසුව සුල්ෆිකාර් සුන්බුන් වලට යට වීමෙන් මරණයට පත් වූ බව මුලයියාදි පවසා ඇත්තේ දැඩි කම්පනයෙන් යුතුව ය. ‘ඔහුට වෙච්චි දේ දැකලා මම මහත් කම්පනයට පත් වුණා. නමුත් මගේ කකුල් සහ තුනටිය ආබාධයට ලක්ව තිබුණු නිසා මට ඔහු වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි වුණා’ මුලයියාදි තවදුරටත් සඳහන් කර තිබිණි.

සමහර තැන්වල පවුල් පිටින් මරණයට පත්ව ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. තවත් සමහර තැන්වල යට වී සිටින සිය සමීපතමයන් බේරා ගැනීම සඳහා විවිධ උපකරණවලින් සහ අත්වලින් සුන්බුන් ඉවත් කරන අයගේ දසුන් ද දැකගත හැකි විය. එක් මවක මාධ්‍ය සමග පවසා තිබුණේ ඇයගේ දරුවන් තිදෙනෙකු සුන්බුන්වලට යට වූ බවකි. ඒ අතරින් දෙදෙනකු බේරා ගැනීමට හැකි වුවත් එක් දරුවකු තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ඇය පවසා තිබුණේ කඳුළු වගුරුවමිනි.

ඇමරිකාවේ භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය පවසන ආකාරයට භූමිකම්පාව සිදුව තිබුණේ පොලොව මට්ටමේ සිට කි.මී. 10 ක් තරම් ගැඹුරිනි. සාපේක්‍ෂ වශයෙන් බලන කල මෙය එතරම් ලොකු ගැඹුරක සිදු වූ භූමිකම්පාවක් නොවේ. හානිය මේ තරම් දරුණු වී ඇත්තේ මේ නිසා බව පැහැදිලි ය.
භූමිකම්පාවට අමතරව නායයාම් ද සිදු වී තිබීම ඛේදවාචකය වඩාත් දරුණු අතට පත් කිරීමට හේතු වී ඇත.

ප්‍රදේශයේ රෝහල් පවා භූමිකම්පාවෙන් විනාශයට පත්ව ඇති නිසා තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම විශාල අභියෝගයක් බවට පත්ව ඇත. සමහර රෝහල්වල ප්‍රතිකාර කටයුතු කෙරෙන්නේ පිටත පිහිටි රථගාල් වැනි තැන්වල බව සඳහන් වේ. ඇතැම් රෝහල් කඩා වැටීමේ අවදානමක් මතුව ඇති නිසා රෝගීන් ඒවායින් ඉවත් කිරීමට ද සිදුව තිබේ.

ප්‍රධාන භූමිකම්පාවෙන් අනතුරුව ඇති වූ පසුකම්පන නිසා විපතට පත් වූවන් බේරා ගැනීමේ කටයුතු වඩාත් සංකීර්ණ වී තිබු බව ද නිලධාරීන් සඳහන් කර තිබිණි. එවැනි පසුකම්පන 80 ක් පමණ සිදු වූ බව වාර්තා වේ. විදුලි බලය ඇණ හිටීම ද ගලවා ගැනීමේ කටයුතු තවත් දුෂ්කර කිරීමට හේතු වී තිබේ.

ඉන්දුනීසියාව යනු භූමිකම්පා විශාල වශයෙන් සිදුවන ගිනි වළල්ල :ඍසබට දf ත්‍සරු* නම් කලාපයේ පිහිටි රටකි. පොලොව යට පිහිටි භූ තල කිහිපයක් මෙම කලාපයේ දී එකිනෙක හමු වේ. භූමිකම්පා සිදුවන්නේ මෙවැනි භූ තල එකිනෙක ගැටීමෙනි. 2018 වසරේ සුලවෙසි නමැති දූපතේ සිදු වූ ඒකක 7.5 ක දරුණු භූමිකම්පාවකින් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර