සුනන්දට සහ ෂෙනුකාට ජ්‍යෙෂ්ඨ ජනපති උපදේශක තනතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කර තිබේ.ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම් සිදු කර ඇත.ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙස මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා (ජාත්‍යන්තර මාධ්‍ය) ලෙස ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පසුගියදා වැඩ භාර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස ද සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ඔහු මීට පෙර ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් ධූරය ද හෙබවීය.
ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට පත් කර ඇති ෂෙනුකා සෙනෙවිරත්න රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරය ද හෙබවූවාය. ඇය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම ජිනීවා සහ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ද කටයුතු කර ඇත.

කාලීන පුවත්