හදිසි දිවි නසා ගැනීම් වලට මුල් වන “අයිස්” මත් ද්‍රව්‍ය ගැන දැන ගනිමු

ice0

අගනුවර සහ වෙනත් නාගරික ප්‍රදේශ කිහිපයක පසුගිය කාලයේ සිදු වූ තරුණයන් ගේ හදිසි දිවි නසා ගැනීම් පිළිබඳ සිදු කෙරුණු විමර්ශන වලදී ඒ හා සම්බන්ධ පොදු සාධකයක් ඉස්මතු වී තිබේ. එනම් ඒ තරුණයන් ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටියවුන් බව ය. දිවි නසා ගැනීම් යනු කෙසේවත් සාධාරණීකරණයට ලක් කළ නොහැකි ක්‍රියාවකි. එහෙත්, එසේ දිවි නසා ගන්නා තැනැත්තා ගේ පැත්තෙන් එය සාධරණීකරණයට ලක් කිරීමට යම් යම් හේතු ඉදිරිපත්ව තිබීම එවන් පශ්චාත් මරණ පරීක්ෂණවලදී දක්නට ලැබේ. එසේ නොමැති අවස්ථාවල එසේ දිවි නසා ගත් තැනැත්තා අවසන් කාලයේ නැතහොත් දින කිහිපයේ ගත කළ මානසිකත්වය පිළිබඳව කරුණු පශ්චාත් මරණ පරීක්ෂණ වලදී ගොනු කර ගත හැක. එහෙත්, මෙම දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් එබඳු දිගු කාලීන හෝ කෙටි කාලීන හේතු ගොනු කර ගත නොහැකි වී තිබේ. එවන් පසුබිමක් තුළ ඔවුන් අතුරින් සැළකිය යුතු පිරිසක් අයිස් නම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් බව අනාවරණය වී ඇත.මෙය අතිශය බරපතල සමාජ ඛේදවාචකයකි.

යමකුට කිසිදු හේතුවක් නොමැතිව හිටිහැටියේ ජීවිතය එපා වී දිවි නසා ගැනීමට සිත්වීම සුළු පටු කරුණක් නොවේ. කිසිදු මනෝ මූලික සාධකයකින් තොරව එසේ සිත්වීම වඩාත් බරපතල ය. මෙහි දී බොහෝ විට සිදුවනුයේ අයිස් නම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් මේ මොළය තුළ පවත්නා ජෛව රසායනික සංයෝගය ක්ෂණිකව වෙනස් වීම ය. අප ජීවිතයේ අත්දකින සෑම සිදුවීමක් සමඟම මොළය තුළ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලියක් තිබේ. කිනම් හෝ සතුට දනවන නිමිත්තක් අපේ සිත තුළට පිවිසි සැනින් ඒ සඳහා වන ඩොපමීන් (Dopamine ) ඕපියොයිඩ් (Opioid ) එන්ඩොෆීන් (Endorphin) ආදී සතුටු හෝමෝන මොළය තුළ ක්‍රියාත්මක වෙයි. එමෙන්ම අපේ සිත් තුළ දුක, වේදනාව දනවන නිමිත්තක් ජනිත වූ සැනින් ඉහත සඳහන් සතුටු හෝමෝන වෙනුවට කෝටිසෝල් (Cortisol ) ඇඩ්රිනලීන් (Adrenaline ) වැනි දුක් හෝමෝන මොළය තුළ ක්‍රියාත්මක වෙයි. මිනිසුන් සේම සතුන් සම්බන්ධයෙන් ද එකසේ බලපාන මෙම ජෛව රසානනික ක්‍රියාවලිය අයිස් ඇතුළු මෙම භාවිතයේ දී කෘත්‍රිම නැතහොත් අසාමාන්‍ය ලෙස ක්‍රියාවට නැංවෙයි.

නොඑසේ නම් එම මත්ද්‍රව්‍ය වලින් මොළයේ ස්නායු පද්ධතියට සිදු කෙරෙන අනිසි උත්තේජන මගින් ඩොපමීන් වැනි සතුටු හෝමෝන ක්‍රියාත්මක වීමෙන් සිත තුළ ව්‍යාජ සතුටක් නිර්මාණය වෙයි. එහෙත්, එම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් සිතනුයේ “ව්‍යාජ වුණත් ඉතින් සතුට සතුටමනේ’‘ යන්න ය. නමුදු නිරන්තරයෙන් එලෙස මොළයේ ස්නායු පද්ධතියට සිදුකරනු ලබන අනිසි උත්තේජන මගින් ලබන සතුට හිටිහැටියේම දරාගත නොහැකි දුකක් වේදනාවක් බවට පත් වීමේ පැහැදිලි අවදානමක් පවතී. ඒ දුක ද කිසිදු නිමිත්තක් පදනමක් නොමැති ව්‍යාජ දුකකි;වේදනාවකි. නමුත් ව්‍යාජ දුකක් බව ඒ දුක අත්විඳින්නට කිසි ලෙසකින් නොවැටහේ. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ එසේ පදනමක් නොමැති දුක් වේදනා මුල් කොට ජීවිතය එපාවීම හේතුවෙන් එම මත්ද්‍රව්‍ය පානය කරන්නවුන් හිටිහැටියේ දිවි නසා ගැනීම ය.මේවා බොහෝ විට නිහඬ හා හදිසි දිවි නසා ගැනීම් ලෙස සැලකෙයි.
බාහිර පෙනුම අයිස් වලට සමාන නිසා අප රටේ අයිස් යනුවෙන් හැඳින්වෙන මෙම ද්‍රව්‍යයේ විද්‍යාත්මක නාමය මෙතම්ෆෙටමින් (Methamphetamine ) යන්න ය.

දියමන්තිවලට ද සමාන වීම මත “ක්‍රිස්ටල් මෙත්’ යනුවෙන් ද මේවා හඳුන්වනු ලැබේ. දුම්පානයක්, දුම් කුඩක්, පානයක්, එන්නතක් ලෙස ශරීර ගත කර ගත හැකි මෙම රසායනිකය නිසා පුද්ගලයකු ගේ කායික මානසික ව්‍යුහය පැහැදිලි අස්වාභාවික මට්ටමකට පත්වෙයි. එහි ප්‍රධානතම ලක්ෂණය ඉහත සඳහන් කෘත්‍රිම සතුට වන අතර තමන්ට අසමාන කාය බලයක් ඇති බව දැනීම, ශරීරය ලිහිල් වන්නාක් මෙන් දැනීම, ශරීරයේ කිතියක් දැනීම, ලිංගිකත්වය කෙරෙහි පවතින උනන්දුව ඉහළ නැංවීම ආදියයි. නමුදු ඉහත සඳහන් මොළයේ ඇතිවන ජෛව රසායනික විෂමතාව නිසා ඇති වන හෘද ස්පන්දනය ඉහළ නැංවීම, ස්වසන අපහසුව, ශරීරය ගැස්සීම, සන්ත්‍රාසය(Panic ) නොසන්සුන්තාව(Restlessness ) වැනි කායික ලක්ෂණ එම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නාට වැටහෙන්නේ නැත. එමෙන්ම ඒ හා සමඟම අත්දකින්නට සිදුවන නින්ද නොයාම, අධික වෙහෙස කරකැවිල්ල, ඇස් පෙනීමේ දුබලතා මෝහ සිතුවිලි, මායා රූප සහ මනෝ භ්‍රාන්ති( Delusion illusion and Hallucinations ) මෙම අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කළ මුල් අවස්ථාවේ සිට අත්දකින්නට ලැබේ.

භාවිතා කළ මුල් වතාවේ සිට පැය දොලහක පමණ කාලයක් මෙම බලපෑම දක්නට ලැබෙන අතර මෙම මත්ද්‍රව්‍ය එක දිගට තුන් වරක් ගැනීමේ සිට මෙහි ඇබ්බැහියා ලක්ෂණ පහළ වන බව කියනු ලැබේ. එවිට ශරීරයේ බර ශීඝ්‍රයෙන් අඩුවීම, නිරන්තරයෙන් කබ සොටු ගැලීම, සම වියළී යාම, මුහුණේ මාංශ පේෂීන් වල මිලානතාව, මුහුණේ ලප මතුවීම ආදී ලක්ෂණ මුල් කොට එම මත්ද්‍රව්‍ය භාවිතාකරන්නා තරුණයකු වුව වියපත් මහළු පෙනුමකින් යුතු වනු ඇත.. එමෙන්ම මේවා නිරන්තර භාවිතයේදී හදිසි හෘදයාබාධ සහ මුර්ජා තත්වයන් මුල් කොට හදිසි මරණයන්ට සේම ස්නායු පද්ධතිය අඩාල වීම මුල් කොට සාමාන්‍ය මරණ සිදුවීමේ පැහැදිලි සම්භාවිතාවක් පවතී.
මෙම අයිස් මත්ද්‍රව්‍ය අප සමාජයට අලුත් වුව මෙතම්ෆෙටමින් නම් වන මෙම රසායනිකය මුල් වරට සොයා ගෙන ඇත්තේ මීට වසර 129 කට පෙර 1893 වසරේ ය. මෙය පළමු ලෝක යුද්ධ සමයේ කෘත්‍රි මානසික උද්දීපනයක් සඳහා යුද සෙබලුන් අතරේ බෙදා හරින ලද බව ද පැවසෙයි. එමෙන් රෝගාබාධ කිහිපයක් සඳහා ඉතා සංවිධිත ලෙස සීමිත මාත්‍රාවක් පමණක් යොදා ගන්නා මෙම සංඝටකය මත්ද්‍රව්‍යයක් සේ භාවිතා කරන්නවුන්ට ඉන් අත්මිදීම පිණිස 1927 අංකය ඔස්සේ අන්තරායකාරී මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික මණ්ඩලයේ ආධාර උපකාර ලබා ගත හැක.

වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

එතෙර - මෙතෙර