එවකට සිරිමාවෝ බණ්ඩානායක අගමැතිනිය ප්රමුඛ රජය මඟින් සම්මත කර ගත් ජනරජ ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස හිමි වූ බවත්, බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබූ ඩොමිනියන් තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාව පූර්ණ ස්වාධීන හා සෛරී ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 1972 මැයි 22 වැනි දින ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ අද වැනි දිනක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය. සෑම වසරකම මැයි මාසයේ 22 වැනි දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ 1815 දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වූ තැනැන් සිට මෙරට පරමාධිකාරි බලය බ්‍රිතාන්‍ය රාජ්‍ය වෙත පැවරුණු බවයි. ඒ අනුව එතැන් සිට රට පාලනය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරයා විසිනි. 1948 පෙබරවාරි 4 වැනිදා ලැබූ නිදහස ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් වූ බැවින්, තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත් කරන ලද රාජ්‍ය නායකයා බවත්, මෙරට ඇතැම් කරුණු සම්බන්ධ අවසන් බලය එංගලන්තයට හිමිව තිබූ බවත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.”බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් ආණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුවේ ඒකමතිකව අත්සන් කළ පනතක් පවා නීතිගත වුණේ නැහැ. මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා වූයේ ද මේ ආණ්ඩුකාරවරයායි. ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පවා එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට හිමිවුණා. මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුළුමනින්ම නිදහස් ස්වාධීන රජයක් බවට පත් වූයේ 1972 මැයි 22 වැනිදායි.” යැයි විපක්ෂ නායකවරයා පැවසීය.ඒ අනුව, ශ්‍රී ලංකාව ජනරජයක් බව ප්‍රකාශයට පත් කර වසර 54ක් සපිරෙන මේ මොහොතේ, අප රට පිළිබඳ ගෞරවයෙන් හා ආඩම්බරයෙන් යුතුව රටේ සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස සහ ඒකීය භාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් කැපවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.