2022 වැනි ආර්ථික අර්බුදයක් යළි ඇති වෙන්නෙ නැහැ

රට තුළ යළිත් වරක් 2022 වසරේ පැවති ආකාරයේ දැඩි ආර්ථික අර්බුදයක් ඇති වනු ඇතැයි ඇතැම් පාර්ශ්ව මත පළ කළද, කිසිසේත්ම එවැනි තත්ත්වයක් රට තුළ නිර්මාණය නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වත්මන් බාහිර පීඩනයන් හා අභියෝගයන්ට ඔරොත්තු දීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට වඩාත් හොඳ සූදානමකින් පසුවන බවයි. ඊයේ (22) පෙරවරුවේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මෙරටට එල්ල වන බාහිර පීඩනයක් වුවද, එය සාර්ථකව කළමනාකරණය කරගැනීමේ පූර්ණ ශක්තිය වත්මන් රජය සතු බවට සහතික විය.
එමෙන්ම වත්මන් රජය බලයට පත් කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණු කිහිපයක් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම, ජාතිවාදයට කිසිදු ඉඩක් නොතැබීම, දූෂිතයන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම, සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය කිරීම සහ දේශපාලකයින් සතු වූ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීම එම ප්‍රධාන අරමුණු අතර වේ. මෙම ජනදේහයේ අපේක්ෂාවන් සාක්ෂාත් කරනු වස් වත්මන් රජය මේ වන විටත් සැලකිය යුතු වැඩකොටසක් ඉටුකර අවසන් බව හෙතෙම පෙන්වා දුන්නේය.
අද වන විට බලය, ධනය හෝ තරාතිරම නොබලා සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, තමන්ගේ රජය යටතේ සැමට නීතිය සමානව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉටු නොවුණහොත් වෙනත් කිසිදු රජයක් යටතේ එය ඉටු නොවන බවද සඳහන් කළේය. අවසාන වශයෙන් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින්, රට ස්ථාවර මඟකට ගැනීමට රජය උපරිමයෙන් කැපවී සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කාලීන පුවත්