2027 වසරේ පැවැත්වෙන 99 වැනි ඇකඩමි සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘත්තාන්ත චිත්රපට කාණ්ඩය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරන චිත්රපටය තෝරා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබේ.ශ්රී ලංකා ජාතික චිත්රපට සංස්ථාව විසින් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන අතර, 2026 අගෝස්තු 24 වැනිදා පෙරවරු 9.00 සිට සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 4.00 දක්වා අයැදුම්පත් භාරගැනීමට නියමිතය.සිනමා ක්ෂේත්රයේ විවිධ අංශ නියෝජනය කරන ප්රවීණයන් නවදෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව (NOSCSL) විසින් ඉදිරිපත් කෙරෙන චිත්රපට ඇගයීමෙන් අනතුරුව ශ්රී ලංකාවේ නිල නියෝජනය තෝරා ගැනීමට නියමිතය. එම කමිටුව ඇකඩමි සම්මාන සංවිධානයේ අනුමැතිය ලබා ඇති බව ජාතික චිත්රපට සංස්ථාව සඳහන් කරයි. ඔස්කාර් නීති අනුව සුදුසුකම් ලැබීමට චිත්රපටය විනාඩි 40කට වැඩි දිගකින් යුක්ත විය යුතු අතර, 2025 ඔක්තෝබර් 1 සිට 2026 සැප්තැම්බර් 30 අතර කාලයේදී අවම වශයෙන් අඛණ්ඩ දින හතක් වාණිජ සිනමා ශාලාවක ප්රදර්ශනය කර තිබිය යුතුය. ශ්රී ලංකාවේ නිල නියෝජිත චිත්රපටය 2026 සැප්තැම්බර් 28 වැනිදා ප්රකාශයට පත් කිරීමට නියමිත අතර, 99 වැනි ඔස්කාර් සම්මාන උළෙල 2027 මාර්තු 14 වැනිදා පැවැත්වීමට ඇකඩමිය දැනටමත් නිවේදනය කර තිබේ.