විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් නඩු ප්‍රමාදයට විසඳුමක් නැහැ

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය නිල ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.ඊයේ (05) පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කළේය.ඔහු පෙන්වා දුන්නේ, නඩු ප්‍රමාදය වැළැක්වීම සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ නඩු විභාග වේගවත් කිරීම යන තර්ක මත මෙම සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ කළ ද, එම තාර්කික පදනම ප්‍රායෝගික යථාර්ථයට එකඟ නොවන බවයි.විශේෂයෙන්ම දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නඩු විභාග වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නොව මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමින් බවත්, එහි සේවය කරන බහුතර විනිසුරුවරුන් වයස අවුරුදු 30ත් 50ත් අතර පසුවන බැවින් ඔවුන් විශ්‍රාම යාම නිසා නඩු කටයුතු අඩාල වන බව පැවසීම පදනම් විරහිත බවත් ඔහු අවධාරණය කළේය.නඩු කල්යාමට විසඳුම විය යුත්තේ දැනට සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම නොව අධිකරණ පද්ධතිය පුළුල් කිරීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරයයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීමට අපොහොසත් වීම, පූර්ව නඩු විභාග සහ සුළු හිමිකම් අධිකරණවල පවතින පුරප්පාඩු 100කට ආසන්න සංඛ්‍යාවට සාපේක්ෂව මහේස්ත්‍රාත්වරුන් 33 දෙනෙකු පමණක් බඳවා ගැනීම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟය වැනි ව්‍යුහාත්මක ගැටලු විසඳීම අත්‍යවශ්‍ය බව එහිදී පෙන්වා දෙන ලදී.අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තු විපක්ෂය නගන හඬ පිළිබඳව ද අදහස් දැක්වූ පුබුදු ජයගොඩ, 1948 සිට බලයේ සිටි විවිධ ආණ්ඩු දේශපාලන හිතවත්කම් මත අධිකරණ පත්වීම් සිදුකරමින් අහිතකර පූර්වාදර්ශ සපයා ඇති බවට චෝදනා කළේය.1948 දී ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා මඟහැරීම, 1977 සහ 1999 වසරවල සිදුවූ අගවිනිසුරු පත්වීම් සහ පසුව සිදුවූ දෝෂාභියෝග ක්‍රියාවලීන් ඊට උදාහරණ ලෙස ඔහු සඳහන් කළේය.ශ්‍රේෂ්ඨාධිකරණය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන සහ පාර්ලිමේන්තුව ගෙන එන නීතිවල නෛතික තත්ත්වය ප්‍රශ්න කිරීමට ඇති ප්‍රධානතම ජනතා යාන්ත්‍රණය බැවින්, ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමේදී ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු විය යුතු බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කඳවුරක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

කාලීන පුවත්