80 හැවිරිදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ දින චරියාවෙන් බිඳක්

ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා ලෙස වාර්තාවක් පිහිටුවා ඇති බව රහසක් නොවේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 80 කි. එසේ තිබියදීත් ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙයි.  දැනටමත් ඔහු ඒ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණයේදීත් බයිඩ්න් ජයග්‍රහණය කළහොත්  2025 වසරේ ඊළඟ ධුර කාලය ආරම්භ කරන අවස්ථාව වනවිට ඔහුගේ වයස අවුරුදු 82 ක් වනු ඇති අතර එම ධුර කාලය අවසන් කරන විට අවුරුදු 86 ක් වනු ඇත.

මෙවැනි වයසක දී ඇමරිකාව වැනි රටක ජනාධිපති පදවිය දැරීම තරමක් විමතිය දනවන්නක් ලෙස සැලකිය හැක්කකි. නමුත් බයිඩ්න්ගේ වයස ගැන අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ ඔහු සාපේක්‍ෂ වශයෙන් ගත් කළ නිරෝගී ආකාරයෙන් වයසට යමින් සිටින්නකු බවයි.

කෙසේ හෝ වේවා, වයස අවුරුදු 80 දීත් ජනාධිපති පදවිය දරණ බයිඩ්න්ගේ දින චරියාව සකස් වී ඇති ආකාරය ගැන දැන ගැනීමට බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වනු ඇත.

බයිඩ්න් සැලකෙන්නේ ශාරීරික ව්‍යායාම සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන්නකු වශයෙනි. වාර්තාවන ආකාරයට ඔහු අවදි වන්නේ උදෑසන 7 ට පමණ ය. එයින් පසු උදේ 8 වනවිට ඔහු ව්‍යායාම කිරීමට පටන් ගන්නා බව පැවසේ. බර ඉසිලීම වැනි ව්‍යායාමවල පවා ඔහු නිරත වෙයි. ජනාධිපතිවරයා මෙම ව්‍යායාමවල නිරත වන්නේ රූපවාහිනියේ ප්‍රවෘත්ති වැඩසටහන් නරඹමින් කාලීන සිදුවීම් ගැන දැනුම්වත් වන අතර ය. සමහර අවස්ථාවල ව්‍යායාම පිලිබඳ  ඔහුගේ පෞද්ගලික  උපදේශකවරයා ද මේ වේලාවට බයිඩ්න් සමග එක්වන බව සඳහන් ය. නිවාඩු දිනවල ඔහු ඩෙලවෙයාර් හි පිහිටි සිය පෞද්ගලික නිවස ආසන්නයේ බයිසිකල් පදින ආකාරය ද බොහෝ විට දැකගත හැකි වේ.


බයිඩ්න් උදේ ආහාර ගන්නේ ව්‍යායාම කිරීමෙන් අනතුරුව බව පැවසේ. මෙහි දී ඔහු ගන්නේ ප්‍රොටීන බහුල ආහාරයකි. උදේ ආහාරයෙන් පසු බයිඩ්න් ඔහුගේ නිල නිවසින් පිටත්ව ඕවල් කාර්යාලය වෙත යයි. ඒ දවසේ නිල කටයුතු පටන් ගැනීම සඳහා ය. එහි දී දිනපතා සිදුවන කටයුත්තක් වන්නේ ජාතික ආරක්‍ෂාවට අදාළ කාරණා සම්බන්ධයෙන් උපදේශකයන් සහ විශේෂඥයන් සමග පවත්වන සාකච්ඡාවයි. මෙම සාකච්ඡාවට උප ජනාධිපතිනිය වන කමලා හැරිස් ද සහභාගි වෙයි. එයින් පසු වෙනත් විවිධ හමුවීම් සහ දුරකතන ඇමතුම් වැනි නිල කටයුතු සඳහා කාලය වෙන් කර තිබේ. වෙනත් රටවල රාජ්‍ය නායකයන් වැනි අය සමග දුරකතන සාකච්ඡාවල නිරත වීම ද මෙම කාලය තුළ සිදු වේ.

බයිඩ්න් පැණි රස කෑමට දැඩි රුචියක් දක්වන්නකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුළයි. මේ නිසා චොකලට් වැනි කෑම නිතර ඔහුගේ ඕවල් කාර්යාලයේ තබා ගෙන සිටින බව සඳහන් වේ. විවේකයක් ඇත්නම් තම සුනඛ සුරතලුන්  සමග ධවල මන්දිර භූමියේ ඇවිදින්නට යාමට ද බයිඩ්න් කැමැත්තක් දක්වන බව සඳහන් ය. චැම්ප් සහ කමාන්ඩර් නම් වන සුනඛ සුරතල්ලු දෙදෙනෙක් ධවල මන්දිරයේ සිටිති. ඒ දෙදෙනාම ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයන් ය.

ධවල මන්දිරයේ සිටින අවස්ථාවල දිවා භෝජනය සඳහා ජනාධිපති බයිඩ්න් සාමාන්‍යයෙන් ගන්නේ සැලඩ්, චිකන් සහ සුප් වැනි ආහාර ය. සමහර අවස්ථාවල මෙම දිවා ආහාරය සඳහා උප ජනාධිපතිනිය ද එක් වන්නීය. එමෙන්ම හිටපු ජනාධිපති බැරක් ඔබාමා ද ඉඳහිට බයිඩ්න් සමග දිවා ආහාරයට එක්වන බව සඳහන් වේ. නමුත් විවිධ නිල කටයුතු සඳහා පිටතට යාමට යෙදී ඇති දිවා කාලයන් හි ජනාධිපතිවරයාට දිවා ආහාරය ගන්නට සිදුවන්නේ ගමනේ යෙදී සිටින අතර ය. මෙවැනි සමහර  අවස්ථාවල ඔහු රටකජු බටර් සහ සැන්ඩ්විචස් ආහාරයට ගන්නා බව පැවසේ. තම ජ්‍යෙෂ්ඨ උපදේශකයන් සමග සාකච්ඡා පැවැත්වීම ද දිවා කාලයේ සිදුවන කටයුත්තකි. රාජ්‍ය නායකයන් හමු වීම වැනි කටයුතු සඳහා ද මේ කාලය යොදා ගැනේ.

රාත්‍රි 7 පමණ වනතෙක් නිල කටයුතුවල නිරතවන ජනාධිපතිවරයා ඉන්පසු  නැවත සිය නිල නිවස වෙත පැමිණේ. ඔහු බොහෝ විට රාත්‍රි ආහාරය ගන්නේ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න් සමග ය. සමහර විට රාත්‍රි කාලයේ ද  උපදේශකයන් සමග දුරකතන සාකච්ඡා පැවැත්වෙයි. නින්දට යාමට පෙර තම පුතු හන්ටර් බයිඩ්න්ට දුරකතන ඇමතුමක් දී සුවදුක් විමසීම ද ජනාධිපතිවරයාගේ සිරිතකි. හන්ටර් කලක් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී බොහෝ ගැටලුවලට මුහුණ දුන් කෙනෙකි. සිය පුතු තම දුරකතන ඇමැතුමට පිලිතුරු නොදුන්නොත් ජනාධිපතිවරයා ඔහුට කෙටි පණිවුඩයක් යැවීමට අමතක නොකරන බව ද සඳහන් වේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්