ගාසා තීරය මේ වනවිට කුසගින්නෙන් සහ මන්ද පෝෂණයෙන් මිනිසුන් මිය යන දේශයක් බවට පත්ව තිබෙනවා. වසර දෙකකට ආසන්න කාලයක් යුද ගින්නෙන් පීඩා විඳිමින් සිටින එහි වැසියන් දැන් කුසගින්නෙනුත් බැටකමින් සිටින බවයි වාර්තා වන්නේ.
ගාසා තීරයේ ආහාර හිඟය යුද්ධයේ මුල් කාලයේ සිටම පැවතුණත් මේ වනවිට තත්වය වඩාත් දරුණු අතට හැරී ඇති ආකාරයක් දැකිය හැකියි. ඇටසැකිලි වැනි කුඩා දරුවන්ගේ ඡායාරූප සහ විඩියෝ දසුන් දුටුවන්ගේ නෙත් කඳුළින් පුරවන්නට සමත් වෙනවා.
පැය 24 ක කාලයක් තුළ 14 දෙනෙකු මන්ද පෝෂණයෙන් මිය යාමේ සිද්ධියක් ගැනත් මෙයට ටික දිනකට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණා. තත්වයෙහි ඇති බිහිසුණු බව මේ අනුව සිතාගත හැකියි.
මාධ්‍ය සමග අදහස් දක්වන බොහෝ ගාසා වැසියන් ගේ කතාවලින් පෙනෙන්නේ ඔවුන් බොහෝ දිනවල නිරාහාරව සිටින බව යි. සමහර දවස්වල එක වේලක් පමණ කන්නට ලැබෙන බවත්, අනෙක් දිනවල වතුර බීමෙන් පමණක් කුස ගින්න නිවා ගන්නා බවත් ඔවුන් පවසනවා. කුඩා දරුවන් ආහාර නොමැතිව විඳින වේදනාවත්, තම දරුවන් විඳින පීඩාව දකින මව්පියන්ගේ මානසික වේදනාවත් අපට සිතාගත හැකියි.
පසුගිය ජුලි මාසයේ මුල් සති දෙක තුළ පමණක් වයස අවුරුදු 5 ට අඩු කුඩා දරුවන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂණ තත්වයන් නිසා රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබුණා. එම මාසය තුළ 63 කට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් මිය ගොස් ඇති බව ද වාර්තා වුණා.
දරුවන්ගේ සිරුරුවල මස් දවසින් දවස දියවෙමින් යන ආකාරය දකින විට ඇතිවන කම්පනය සහ ශෝකය ගැන පසුගිය දිනෙක එක් තාත්තා කෙනෙකු මාධ්‍ය සමග සිත් කම්පා කරවන විස්තරයක් කර තිබුණා.
පසුගිය ජුලි මාසයේ මුල් සති දෙක තුළ පමණක් වයස අවුරුදු 5 ට අඩු කුඩා දරුවන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂණ තත්වයන් නිසා රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබුණා. එම මාසය තුළ 63 කට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් මිය ගොස් ඇති බව ද වාර්තා වුණා.
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර මෙම යුද ගැටුම ආරම්භ වූයේ 2023 ඔක්තෝබර් මාසයේ යි. මෙම දෙපාර්ශ්වය අතර හුවමාරු වූ ප්‍රහාර නිසා යුද්ධයේ මුල් කාලයේත් ජනතාව අතර ආහාර බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වුණා. නමුත් තත්වය ඉතාමත් නරක අතට හැරෙන්නට පටන් ගත්තේ ගාසා තීරය තුළට ආහාර ඇතුළු මානුෂීය ආධාර ඇතුල්වීම ඊශ්‍රායලය විසින් පසුගිය මාර්තු මාසයේ සම්පූර්ණයෙන්ම අවහිර කිරීමත් සමග යි. මේ වනවිට ගාසා හි වැසියන් සම්පූර්ණයෙන්ම යැපෙන්නේ පිටතින් ලැබෙන මානුෂීය ආධාර මත බව මෙහිදී සිහිපත් කළ යුතුයි.
ඊශ්‍රායලය ඉහත කී ආකාරයේ දරුණු පියවරක් ගත්තේ හමාස් සංවිධානය මත පීඩනයක් එල්ල කිරීම සඳහා යි. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් තවමත් හමාස් සංවිධානය භාරයේ සිටින අතර ඔවුන් නිදහස් කිරීම සඳහා එම සංවිධානය පොළඹවා ගැනීම ද මෙම පියවරෙ හි එක් අරමුණක් වුණා. මෙය සැබැවින්ම සැලකිය හැක්කේ ජනතාවගේ කුසගින්න යුද්ධයේ ආයුධයක් ලෙස යොදා ගැනීමක් හැටියට යි.
කෙසේ හෝ වේවා, මාර්තු මාසයේ ගත් දැඩි පියවර ඊශ්‍රායලය පසුව යම් තරමකට ලිහිල් කළා. මාස දෙකහමාරකට පසු ඔවුන් එම තහංචිය ලිහිල් කළේ පසුගිය මැයි මාසයේ යි. එසේ වුවත් තවමත් ගාසා තීරය තුළට මානුෂීය ආධාර ළඟා වන්නේ බොහොම හෙමින්.
ඇතැම් පාර්ශ්ව පවසන ආකාරයට මේ වනවිට ගාසා තීරයේ පවතින ආහාර හිඟය ජයගැනීමට නම් දිනකට ආහාර ට්‍රක් රථ 500-600 ක් පමණ ගාසා තීරයට ඇතුල් විය යුතුයි. නමුත් මේ වෙද්දී වාර්තාවන අන්දමට දිනකට ගාසා තීරයට ඇතුල් වන්නේ ආධාර ට්‍රක් රථ 100 කටත් අඩු සංඛ්‍යාවක් පමණ යි. තත්වයෙහි ඇති ඛේදජනක බව මේ අනුව සිතාගත හැකියි.
මෙසේ සිදුව ඇත්තේ ලැබෙන ආධාර ප්‍රමාණවත් නොවීමේ ප්‍රශ්නයක් නිසා නොවෙයි. මෙහි ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ ආධාර බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක්.
ගාසා වෙත ඇතුල් වීමට එන ට්‍රක් රථ එහි දේශ සීමාවේ දී ඊශ්‍රායල හමුදා විසින් දැඩි පරීක්ෂා කිරීමකට ලක් කරනු ලබන බව පැවසෙනවා. ඒ ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක හේතූන් නිසා බවයි සඳහන් වන්නේ. මේ නිසා ආධාර බෙදා හැරීමේ කටයුතුවල විශාල ප්‍රමාදයන් සිදුවන බව වාර්තා වෙනවා.
මෙවැනි පරීක්ෂා කිරීම්වලින් පසු ගාසා තීරයට ඇතුල් වීමට අවසර ලැබෙන්නේ ට්‍රක් රථ සුළු සංඛ්‍යාවකට පමණයි. දිනකට ගාසා තීරයට ඇතුල්වන ආධාර ප්‍රමාණය අඩු වීමට මෙය ප්‍රධාන හේතුවක් බව සඳහන්.
දේශ සීමාවෙන් ඇතුල් වන ට්‍රක් රථ ඊළඟට තවත් ගැටලුවකට මුහුණ දෙනවා. එනම් දැඩි කුසගින්නේ පසුවන ජනතාව මේවා නතර කර ඒවායේ ඇති ආහාර පැහැර ගැනීම යි.මේ අතර ආහාර පැහැර ගන්නා කොල්ලකරුවන් ගැනත් ගාසා තීරයෙන් වාර්තා වෙනවා. කඩු කිණිසි සහ පිස්තෝල වැනි ආයුධ රැගෙන විත් ට්‍රක් රථ කොල්ලකන මොවුන් එසේ පැහැර ගන්නා ආහාර ගබඩා කර තබාගෙන පසුව අලෙවි කරන බව පැවසෙනවා.
ට්‍රක් රථවලට ගාසා තීරයට ඇතුල්වීම සඳහා ඇත්තේ ප්‍රවේශ ස්ථාන දෙක තුනක් පමණක් වීමත් මෙම ප්‍රමාදයන්ට තවත් හේතුවක්.
දේශ සීමාවෙන් ඇතුල් වන ට්‍රක් රථ ඊළඟට තවත් ගැටලුවකට මුහුණ දෙනවා. එනම් දැඩි කුසගින්නේ පසුවන ජනතාව මේවා නතර කර ඒවායේ ඇති ආහාර පැහැර ගැනීම යි.
මේ අතර ආහාර පැහැර ගන්නා කොල්ලකරුවන් ගැනත් ගාසා තීරයෙන් වාර්තා වෙනවා. කඩු කිණිසි සහ පිස්තෝල වැනි ආයුධ රැගෙන විත් ට්‍රක් රථ කොල්ලකන මොවුන් එසේ පැහැර ගන්නා ආහාර ගබඩා කර තබාගෙන පසුව අලෙවි කරන බව පැවසෙනවා.
මෙවැනි කාරණා නිසා මෙම ආධාර ට්‍රක් රථ බොහොමයකට ආධාර බෙදා හැරීම සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන වෙත ළඟා වීමට හැකි වන්නේ නැහැ. බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් තරම් ආහාර නොලැබෙන්නේ මෙවැනි හේතු නිසා බවයි සඳහන් වන්නේ.
නිහාල් පීරිස්