ලක්ෂ 12 ට ‘විට්ස්’ දෙන දවස ගැන අනාවැකියක්

පසුගිය මැතිවරණ සමයේදී ජනතාව හමුවේ පොරොන්දු වූ පරිදි, රුපියල් ලක්ෂ 12 ක මුදලකට ටොයෝටා විට්ස් (Toyota Vitz) වර්ගයේ මෝටර් රථයක් මෙරට ජනතාවට මිලදී ගැනීමට ඇති අවස්ථාව සලසා දෙන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.විපක්ෂ නායකවරයා නැඟූ එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන ලබා ගැනීම සහ ඒ සඳහා වන වෙළෙඳපොළ නිර්මාණය වීම රටේ ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමඟ ස්වාභාවිකවම සිදුවන්නක් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය:”2026 වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ ඇතුළුව වාහන 1,78,000 ක් පමණ මෙරටට ගෙන්වා තිබෙනවා. වාහන ගෙන්වීම සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් පාලනය කළ නොහැකි බාහිර සාධක හේතුවෙන් විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මාස තුනක කාලයකට ඇතැම් සීමාකාරී තීරණ ගැනීමට රජයට සිදු වුණා.”
එමෙන්ම එම බාහිර බලපෑම් එල්ල නොවූයේ නම් රටේ ආර්ථිකය මීට වඩා වේගයෙන් ප්‍රසාරණය වීමට ඉඩ තිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, දශක ගණනාවක් තිස්සේ රට තුළ පැවති ආර්ථික ගැටලු එකවර විසඳිය නොහැකි වුවද ඉදිරියේදී ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ක්‍රමිකව මෙම තත්ත්වයන් යහපත් වනු ඇතැයිද පැවසීය.

කාලීන පුවත්