ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයක: ද්‍රව්‍ය මිල 25%කින් ඉහළට!

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම, නෞකා ගාස්තු හා රක්ෂණ ගාස්තු ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් 25% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා පවසයි.මේ හේතුවෙන් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයම මේ වන විට බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී. පෝල් මහතා මෙසේද සඳහන් කළේය.”මේ වන විට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 ත් 175 ත් අතර මුදලකින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම යකඩ මිල ගණන් ද 30% කින් පමණ ඉහළ ගොස් අවසන්. තත්ත්වය කෙතරම් දරුණුද යත්, රජයේ ඉදිකිරීම් සඳහා දැනට යොදවා ඇති මුදල මෙන් තවත් ඒ හා සමාන මුදලක් (100% ක පිරිවැයක්) එම ව්‍යාපෘති අවසන් කිරීම සඳහා අලුතින් වැය කිරීමට සිදු වී තිබෙනවා.”ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය යටතේ ඉදිකිරීම් සමාගම් 2200 ක් පමණ ලියාපදිංචි වී සිටින බවත්, ගොඩනැගිලි ද්‍රව්‍ය මිල මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ යාම හමුවේ එම සියලු සමාගම් ඉදිකිරීම් කටයුතු කරගත නොහැකිව අර්බුදයකට මුහුණ දී සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය.වත්මන් මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව අනතුරු අඟවමින් ඔහු කියා සිටියේ, මේ වන විට ඩොලරයක අගය රුපියල් 335 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී ඩොලරයේ අගය තවත් වැඩි වුවහොත් පවතින තත්ත්වය මීට වඩා දරුණු විය හැකි බවයි.රට තුළ පැවති දැඩි ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ඩොලර් සංචිත යම් ප්‍රමාණයක් ගොඩනැගෙමින් පවතින මොහොතක, රජය විසින් වාහන ආනයනය කිරීමට අවසර දීම බරපතළ ගැටලුවක් බවද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ආණ්ඩුව ගත් එම තීරණය මෙරට සීමිත ඩොලර් සංචිත සඳහා දැඩි ඍණාත්මක බලපෑමක් එල්ල කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කාලීන පුවත්