බැසිල් ඇතුළු පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කොටුව මහෙස්ත්‍රාත්ගෙන් CIDයට නියෝගයක්

2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් සාපරාධී ලෙස සභාභේදනය කරමින් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, දැනට විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද (29) නියෝග කළේය. මෙම නියෝගයට අනුව හිටපු අමාත්‍යවරයාට අමතරව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර සේන ගුණරත්න, එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ඩී.එස්. රූමි ජව්ෆර් සහ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු වන ගාමිණී ජයරත්න යන අය මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුව 1982 අංක 12 දරන පොදු දේපළ පනත යටතේ මෙම පුද්ගලයන් සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින මෝසමක් මඟින් අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සහ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම සැකකරුවන් රජයේ මුදල් අවභාවිත කරමින් පොදු දේපළ පනත යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවයි. කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, දැනට මෙරටින් බැහැරව සිටින බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් මෙරටට පැමිණි වහාම හෝ සිටින ස්ථානයකින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බලයලත් වරෙන්තු නිකුත් කරමින් නියෝග කළේය.

කාලීන පුවත්