සුරතල් සතුන් ඇති කිරීම අප සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතරම, වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සියලු දෙනාගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ “PET EXPO 2026” ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතිය ලෙස එක්වෙමිනි. ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි. මෙහිදී වීදි සතුන්ගේ සුරක්ෂිතභාවය හා සුභසාධනය වෙනුවෙන් සමාජය දැනුවත් කිරීම සඳහා ප්‍රදර්ශන භූමියේ වෙන් කර තිබූ “ආලෝකා” ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කිරීමට ද අග්‍රාමාත්‍යවරිය කටයුතු කළ අතර, එහිදී වීදි බලු පැටවෙකු රැකවරණය සඳහා ඉල්ලුම්කරුවෙකු වෙත නිල වශයෙන් භාර දෙමින් එම කුටියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට ද ඇය එක් වූවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ ද කීවාය. “ශ්‍රී ලංකාව තුළ පශු වෛද්‍ය සේවාව ඉදිරි දැක්මක් සහිතව දියුණුවෙමින් පැවතීම පිළිබඳව මම සතුටු වෙනවා. පන්සල් වැනි පොදු ස්ථානවල කුඩා සුනඛ සහ බළල් පැටවුන් දමා යාම රටේ වැරදි පුරුද්දක් වෙලා තිබෙනවා. වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. එමෙන්ම සත්ව සුභසාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීමට හැකි වී තිබීම තුළින්, සතුන්ගේ ජීවිත යහපත් කිරීම පිණිස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබෙනවා.”
මෑතකදී ලෝකයේ ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලංකාවේ දියණියක සහ ඉත්තෑවකු අතර ඇති වූ සුවිශේෂී සත්ව සබැඳියාව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, සුරතල් සතුන් සහ දරුවන් අතර පවතින සබඳතාව දරුවන්ගේ ජීවිතවලට අතිශය වැදගත් වන බව ද අවධාරණය කළාය. සතුන් සමඟ ජීවත්වීම තුළින් දරුවන්ගේ ජීවිතවලට සහකම්පනය, ආදරය සහ කරුණාව වැනි උතුම් ගුණාංග ප්‍රායෝගිකව එක් කරගත හැකි බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නාය.