දැක්කොත් පද්මාවතී ගීතයට මුල් වූ පුත්තලමේ සුරූපී මුස්ලිම් කුමරිය – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය


1910 වසරේ වේදිකාගත වූ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ ‘පද්මාවතී’ නාට්‍යයේ “දැක්කොත් පද්මාවතී ආලේ නොකර බැරී” යන අදටත් අතිශය ජනප්‍රිය ගීතයෙන් පැවසෙන ‘පද්මාවතී’ චරිතයේ මූලය පිළිබඳව බොහෝ දෙනෙක් නොදනිති. එහෙත් එය මුස්ලිම් පරම්පරා කතාවක සැඟවී ඇතැයි සිතීමට බොහෝ හේතු සාධක තිබේ. ඉන් පැවසෙන පද්මාවතී සත්‍ය ඓතිහාසික චරිතයක් ද, නැතහොත් ප්‍රබන්ධයක් ද යන්න තවමත් විවාදාත්මක ය. එහෙත් එක දෙයක් ස්ථිර ය: එනම්, සිංහලද්වීපය යන නාමය නිසාම ලංකාව ඉන්දීය සාහිත්‍යයේ දිව්‍යමය පරිකල්පනයක් බවට පත් වී තිබීම ය.

අදටත් ඉන්දියාවේ පොත-පතක, උර්දු සාහිත්‍ය දේශනයක හෝ බොලිවුඩයේ සුපිරි සිනමාපටයක නිතර ඇසෙන නමක් තිබේ. ඒ ‘පද්මාවත්’ ය. 2018 වසරේදී සංජේ ලීලා බන්සාලි විසින් දීපිකා පදුකෝන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් යොදා නිර්මාණය කළ ‘පද්මාවත්’ චිත්‍රපටයෙන් මුළු ලෝකයම ඒ නම දැනගත්ත ද, එහි සාහිත්‍යමය උපත සිදුවන්නේ ඊට වසර 478කට පෙර ය. එහෙත්, බොහෝ දෙනා නොදන්නා කාරණය නම්, ඉන්දීය සාහිත්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ප්‍රේම කාව්‍යයක වීරවරිය ලෙස සැලකෙන ඒ පද්මාවතී කුමරිය සිංහල ද්වීපයේ, එනම් අපේ ලංකාවේ කුමරියක බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකි වීම ය. එමෙන්ම අපේ පැරැන්නන් සතුව කල්පිටිය සම්බන්ධයෙන් තිබූ බව පැවසෙන ජනප්‍රවාදයක් මේ කතාවට අලුත්ම පරිච්ඡේදයක් එක් කරයි.

පද්මාවත් යනු 16 වන සියවසේ විසූ සුප්‍රකට සූෆි කවියෙකු වූ මලික් මුහම්මද් ජායසී විසින් 1540 දී රචනා කරන ලද මහා කාව්‍යයකි. උත්තර ප්‍රදේශ්හි ‘ජායස්’ නගරයේ උපත ලැබූ නිසා ‘ජායසී’ නම ලැබූ ඔහු [උපත ක්‍රි.ව. 1477/1492 – අභාවය 1542] කුඩා කල මවුපියන් අහිමි වූ, වසූරිය රෝගයෙන් වම් ඇස සහ වම් කන අහිමි වූ අයෙකි. ඔහු සිය නිර්මාණ සඳහා භාවිත කළේ සංස්කෘත නොව, ජනතාවගේ බස වූ අවධි භාෂාවයි. එහෙත්, ඔහු එය ලිව්වේ පර්සියානු නස්තාලික් අක්ෂර මාලාවෙනි. ඔහුගේ අරමුණ වූයේ ඉස්ලාමීය සූෆි දර්ශනය හින්දු සංකේත සමඟ මුසු කොට මිනිසාට සමීප කිරීමයි. ඒ අනුව ඔහු අතින් නිමැවුණු විශිෂ්ටතම කෘති තුනක් තිබේ. ඒ පද්මාවත්, අඛිරි කලාම් සහ කන්හාවත් ය.

ඉන් පද්මාවත් හි කතා සාරය මෙලෙසිනි. සිංහල ද්වීපයේ රජු වූ ගන්ධර්වසේන් රජුට අසමසම රූපශ්‍රීයෙන් යුත් දියණියක් වූවා ය. ඇගේ නම පද්මාවතී ය. ඇය සමීපයේ ‘හීරාමන්’ නම් කතා කළ හැකි විස්මිත ගිරවෙක් විය. හීරාමන් ගිරවා වනාන්තරයේදී දඩයක්කරුවකුට අසුවී, දෛවයේ සරදමකින් අවසානයේ ඉන්දියාවේ චිතෝර්හි රජු වූ රත්නසේන් රජු අතට පත් විය. මේ ගිරවා නිරතුරුවම පද්මාවතීගේ රුව වර්ණනා කරන්නෙකි. ඒ වර්ණනාවෙන් උමතු වන රත්නසේන් රජු, සන්නාසියෙකු ලෙස වෙස් වළාගෙන සිංහල ද්වීපයට පැමිණ, අනේක දුෂ්කරතා මැද පද්මාවතී දිනාගෙන චිතෝර් වෙත කැන්දාගෙන යයි. පසුව දිල්ලි සුල්තාන් අලාවුද්දීන් ඛිල්ජි, පද්මාවතීගේ දිව්‍යමය රූපය පිළිබඳව අසා ඇය කෙරෙහි ලොල් වී චිතෝර් ආක්‍රමණය කරයි. ඒ, “දැක්කොත් පද්මාවතී ආලේ නොකර බැරී” යන ගී පදය අපට සිහිපත් කරමිනි. යුද්ධයෙන් රත්නසේන් මියගිය පසු, පද්මාවතී රැජින ඇතුළු රාජකීය කාන්තාවෝ සිය පතිවත රැකගැනීම පිණිස ජවුහාර් හෙවත් ගිනි මැලයට පැන දිවි පිදූහ. එතැනින් කාව්‍යය නිම වේ. නමුත් මෙය හුදු ප්‍රේම කතාවක් නොවේ; ඉස්ලාමීය සූෆි සංකේතවාදය නිරූපණය කරන්නකි.

මලික් මුහම්මද් ජායසීට අනුව මෙහි සෑම චරිතයක්ම සූෆි සංකේතයකි. ඒ අනුව රත්නසේන් රජු සත්‍යය සොයන මිනිස් ආත්මය ලෙසත්, පද්මාවතී දිව්‍යමය ප්‍රඥාව හෙවත් දෙවියන් [Divine Wisdom] ලෙසත්, හීරාමන් ගිරවා ආත්මයට මඟ පෙන්වන ආධ්‍යාත්මික ගුරුවරයා ලෙසත්, අලාවුද්දීන් ඛිල්ජි ලෞකික ආශාවන් සහ මායාව [Illusion / Maya] ලෙසත් සංකේතනය කොට තිබේ.

මේ කාව්‍යයේදී සිංහල ද්වීපය දිව්‍ය ලෝකය සහ ප්‍රඥාවේ උල්පත ලෙස සැලකීම ද විශේෂත්වයකි. විදේශිකයන් ලංකාව “සිංහලද්වීප” යනුවෙන් හැඳින්වීම ඊට බොහෝ කලකට පෙර සිට පැවතිණි. සංස්කෘත මහාභාරතයේ සහ සමුද්‍රගුප්ත රජුගේ අලහබාද් ටැම් ලිපියේ [ක්‍රි.ව. 4 වන සියවස] එය “සෛංහල” ලෙස සඳහන් වේ. චීන භික්ෂූන් වන ෆාහියන් [5 වන සියවස] සහ හියුං සාං [7 වන සියවස] “සෙන්-කියා-ලෝ” හෙවත් සිංහලද්වීප ලෙස ලියා ඇත. අරාබි හා පර්සියානු වෙළෙන්දෝ එය “සෙරන්දිබ්” කළහ. එයින් ග්‍රීක-රෝම “සීලෙදිවා” ද, පසුව පෘතුගීසි “සෙයිලාඕ [Ceilão]”, ලන්දේසි “සෙයිලාන්”, ඉංග්‍රීසි “සිලෝන්” ද බිහි විය. ඒ අනුව ජායසී කවියා “සිංහලද්වීප” යනුවෙන් හඳුන්වන්නේ මිථ්‍යා දේශයක් නොව, එවකට මුළු ලෝකයටම ප්‍රසිද්ධව තිබූ අපේ දේශයම බව පෙනෙයි. පද්මාවතී සිංහල ද්වීපයේ කුමරියක් යැයි ඉන්දියානු කාව්‍යයේ සඳහන් වුවත්, “එවැනි කුමරියක් ගැන අපේ වංශකතාවල සඳහනක් නැත” යන්න මෙතෙක් පැවති පොදු මතයයි. එහෙත් මේ පොදු මතයට අභියෝග කරන ජීවමාන සාක්ෂියක් පුත්තලම – කල්පිටිය ප්‍රදේශයෙන් මතුවේ.

අතීතයේ “කුමාර වන්නිය” ලෙස සැලකුණු කල්පිටිය ප්‍රදේශය පාලනය කළේ දේශීය සිංහල රජවරුන්ට යටත් වූ, ස්වාධීන වූ මුස්ලිම් පාලක පරම්පරාවකි. ඔවුන් දෙවන පෙළ රජවරුන් හෙවත් කුමාරවරුන් සේ සැලකුණු නිසා ඊට “කුමාර වන්නිය” යන නම පටබැඳී තිබේ. මීට වසර විසිපහකට පමණ පෙර තමන් කල්පිටිය තානායමේ නතර වී කල්පිටියේ අල්ලි රාණි මාලිගයේ නටබුන් නැරඹීමට යාමට සැරසෙන අතරේ, එවක එහි භාරකරු ලෙස කටයුතු කළ සම්පත් නිශාන්ත වෙදගේ , එවකට එම ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් වහාබ් නමැත්තකු තමන්ට හඳුන්වා දුන් බව ජන විශ්වාස ගවේෂක ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මා හා පැවසීය. එහි දී තමන් හා අදහස් දැක්වූ මොහොමඩ් වහාබ් නමැති අය, තම පරපුරේ යටගියාව සහිත ‘සජරා’ හෙවත් පරම්පරා පුස්තකයෙහි කල්පිටිය පාලනය කළ මුස්ලිම් පරම්පරාවක් සහ එම පරපුරේ ‘අමීරා(හ්)’ නම් රජ කුමරියක ගැන සඳහන් වී තිබූ බව පැවසූ බවත්, ඇය අල්ලි රාණි නොව වෙනත් කුමරියක බව තමන්ට වැටහී ගිය බවත් තිලක් සේනාසිංහ වැඩිදුරටත් මා හා කීය.

‘අමීරා’ යනු අරාබි බසින් ‘කුමරිය’ හෝ ‘නායිකාව’ යන්නයි. පද්මාවතී යනු ඇගේ නම නොව, ඇගේ රූපයට දුන් විරුද නාමයක් වන්නට හැකි ද? එනම් සිංහලද්වීපයේ මුස්ලිම් පාලන ප්‍රදේශයක විසූ රූමත් අමීරා කුමරියක අරාබි වෙළෙඳුන්ගේ මාර්ගයෙන් උතුරු ඉන්දියාවට ගොස්, ජායසීගේ සූෆි පරිකල්පනයෙන් ‘පද්මාවතී’ බවට පත්වන්නට ඇති ද? අතීතයේ පුත්තලම් කලපුව හා කල්පිටිය අර්ධද්වීපය ඉන්දියාවෙන් හා අරාබිකරයෙන් පැමිණි වෙළඳ නැව් නතර කළ ප්‍රධාන තොටුපළකි. විශේෂයෙන් කුරුඳු, කුළුබඩු සේම ඇත් දළ හා මුතු ද මෙහි දී එම නැව්වලට සැපයුණු බව පැවසෙයි.

මේ අතර “පද්මාවත්” චිත්‍රපටය 2018 වර්ෂයේදී තිරගත වීමට සමගාමීව ඉන්දියාව පුරා දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් සහ සිනමාහල්වලට ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීම් මාලාවක් වාර්තා විය. එම නොසන්සුන්තා සහ ගිනි තැබීම්වලට මුල් වූයේ විශේෂයෙන්ම රාජස්ථාන් ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් “ශ්‍රී රාජ්පුත් කර්ණි සේනා [Shri Rajput Karni Sena]” ඇතුළු අන්තවාදී සංවිධාන චිත්‍රපටයට එරෙහිව දැඩි ලෙස විරෝධය පෑම ය. මලික් මුහම්මද් ජායසීගේ කාව්‍යයේ එන පද්මිණී [පද්මාවතී] රැජින තමන්ගේ කුලයේ ගෞරවය සහ පූජනීයත්වයේ සංකේතයක් ලෙස සලකන බැවින්, චිත්‍රපටය මඟින් ඇයට අපහාස කර ඇති බව ඔවුහු චෝදනා කළහ. ඒ සමඟම චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්, ගුජරාට්, රාජස්ථාන් සහ හර්යානා වැනි ප්‍රාන්තවල සිනමාහල් රැසකට විරෝධතාකරුවන් විසින් ප්‍රහාර එල්ල කරන ලදී. ඇතැම් සිනමාහල්වල ප්‍රවේශ පත්‍ර කවුන්ටර සහ ශාලා ඇතුළත ගිනි තැබූ අතර, වාහන ගිනිබත් කරමින් මහාමාර්ග පවා අවහිර කෙරිණි. මෙම චිත්‍රපටය තුළ පද්මාවතී රැජින සහ දිල්ලි සුල්තාන් අලාවුද්දීන් ඛිල්ජි අතර අනියම් ප්‍රේම සන්නිවේදනයක් හෝ සිහින ජවනිකාවක් [Dream Sequence] අඩංගු බවට පැතිර ගිය කටකතාවක් මෙම ප්‍රචණ්ඩත්වයට ප්‍රධානතම හේතුව වී තිබුණි. කෙසේ වෙතත්, සිනමාපටය තුළ එවැනි කිසිදු ජවනිකාවක් අඩංගු නොවීම ද විශේෂත්වයකි. ඒ කෙසේ හෝ පද්මාවතී යනු රාජස්ථාන් ප්‍රාන්ත ජනතාවගේ කුල ගෞරවයේ සහ පූජනීයත්වයේ සංකේතයක් බවට පත් වී තිබූ බව ද ඉන් පැහැදිලි ය.

ඒ අනුව මුලින් “පද්මාවතී” ලෙස නම් කර තිබූ මෙම චිත්‍රපටය, ඉන්දීය චිත්‍රපට සහතිකකරණ මධ්‍යම මණ්ඩලයේ [CBFC] උපදෙස් මත සහ විරෝධතා සමනය කිරීමේ පියවරක් ලෙස පසුව “පද්මාවත්” ලෙස වෙනස් කර, සංශෝධන කිහිපයක් සහිතව තිරගත කිරීමට සිදු විය. මෙම දැඩි තර්ජන හමුවේ වුවද, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ චිත්‍රපටය සාර්ථකව තිරගත කෙරුණු අතර, එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ඉහළ ආදායමක් ද උපයා ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි.

පද්මාවත් කාව්‍යය පර්සියානු අක්ෂරයෙන් ලිවීම, එහි සූෆි දර්ශනය සහ කල්පිටිය මුස්ලිම් සම්බන්ධය අතර ඇත්තේ පුදුම සහගත සමාන්තර බවකි. එමෙන්ම ඇය සතුව සිටි බව පැවසෙන අපූරු ගිරවා සම්බන්ධ වැඩිදුර තොරතුරු සොයා ගත නොහැකි මුත්, මේ වන විටත් මීගමුව කාමච්චෝඩේ හි පිහිටි කාමච්චි අම්මාන් දේවොලයට අධිගෘහිත කාමච්චි අම්මාන් හෙවත් කාමාක්ෂි (සරාගී නෙත් ඇත්තී) නම් සුරූපී හින්දු දේවතාවියගේ උරමත ගිරවකු හිඳින ආකාරයක් මූර්තිමත්ව ඇතැයි ද මාධ්‍යවේදී තිලක් සේනාසිංහ සිහිපත් කරයි. මෙය ද අපූරු සමානත්වයකි.

ඒ කෙසේ වුව ද අද බොලිවුඩය කෝටි සිය ගණනින් උපයන, ජායසී අමරණීය කළ ඒ කුමරිය, ඇත්ත වශයෙන්ම කල්පිටියේ වැව් පිටියක, මුහුදු සුළඟ මැදින් සිය ගිරවා සමඟ කතාබහ කරමින් සිටි අපේම අමීරා නම් වූ මුස්ලිම් කුමරිය නම්, එය ශ්‍රී ලාංකික මුස්ලිම් ඉතිහාසය නැවත ලිවීමට තරම් වටිනා සොයාගැනීමකි. නමුත් සති පූජාව වැනි ඉස්ලාමීය ආගමානුකූල නොවූ සුවිශේෂතා ඉස්මතු කර ගැනීම සම්බන්ධයෙන් ඉස්ලාමීය මූලධර්මවලින් නිසි සහායක් නොලැබීම හා ඇතැම් විට ඒවාට විරෝධය පළ වීම, මෙරට මුස්ලිම් ප්‍රජාව මෙවැනි කටයුතු සඳහා උනන්දු නොවීමට අනියමින් හෝ බලපාන්නට ඇත්දැයි යන අනුමානය මා තුළ තිබේ.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

හිටපු මානව විද්‍යා මහාචාර්ය

උරුමයක අසිරිය