
ලක්දිව පැරණිතම පෙරහැර බවට ඇතැමුන් මත පළ කරන, දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ මාධ්‍ය සඳහා ඒ සම්බන්ධ “අති රමණීය” පුවතක් ද නිර්මාණය කරමිනි. ඒ පුවතට මුල් පිරෙනුයේ අද රාත්‍රී (28) වීථි සංචාරය කිරීමට නියමිත එහි මහ පෙරහැරේ වඩාත්ම ජනප්‍රිය අංගයක් වන කාවඩි නර්තන අංගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ය. නමුත් එය හුදෙක් දේවාල සංස්කෘතික කමිටුවක තීරණයක් නොවේ. රාජ්‍යයේ ඉහළම ආරක්ෂක යාන්ත්‍රණයේ නිර්දේශයක් මත ගත් බරපතළ මහජන ආරක්ෂක තීරණයකි. මෙම තීරණය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේවාලයක් මුල්කොට ගත් එකක් වුවද, මෙම පුවත “දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ” කියා කිසිවකුටත් නිහඬ විය හැකි එකක් නොවේ.
අනාවරණය වී ඇති අන්දමට, ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ලබා දුන් ඒකාබද්ධ බුද්ධි තක්සේරු වාර්තා පදනම් කරගෙන, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 2026.07.25 දිනැති SF/FM/WOU/2524/26 දරන ලිපියෙන් මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට ලිඛිතව නිර්දේශ කර ඇත්තේ, අද පැවැත්වෙන දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ මහා පෙරහැරෙන් කාවඩි අංගය ඉවත් කළ යුතු බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න 2026.07.26 දිනැති SM/ඇඩ්/M/OEMSC/02 දරන ලිපියෙන්, ජනාධිපතිවරයාගේ සමීපතමයකු බවට ද පැවසෙන, කතරගම දේවාලයේ ද බස්නායක ධුරය හොබවන තිළිණ මධුසංක අබේරත්න දෙවිනුවර බස්නායක නිලමේ වෙත නිල වශයෙන් නියෝග කොට තිබුණේ එම අංගය පෙරහැරෙන් ඉවත් කරන ලෙසයි. මෙම නියෝගය 1896 අංක 13 දරන වන්දනා ගමන් ආඥා පනත යටතේ දිස්ත්‍රික් ලේකම්වරයාට හිමි බලතල ප්‍රකාරව ගෙන තිබූ අතර, අවශ්‍ය වුවහොත් අධිකරණ නියෝගයක් ලබාගන්නා ලෙසට ද පොලිස්පතිවරයා උපදෙස් දී තිබුණි. වන්දනා ගමන් ආඥා පනත යනු ශ්‍රී ලංකාවේ වන්දනා ගමන් සහ මහජන රැස්වීම්වලදී මහජන ආරක්ෂාව, සෞඛ්‍යය සහ සාමය තහවුරු කිරීම සඳහා බලය ලබා දෙන විශේෂ නීතියකි. මෙම පනත යටතේ බලධාරීන්ට අදාළ ප්‍රදේශවල විනය හා සාමය පාලනය කිරීමට අවශ්‍ය නියෝග පැනවීමට හැකියාව ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් කියා සිටියේ පවතින බුද්ධි තොරතුරු මත මහජනතාව අතර අනියත බියක් හෝ ආතතියක් ඇතිවීම වැළැක්වීම සහ විදේශීය සංචාරකයන් විශාල වශයෙන් සහභාගී වන මෙම ඓතිහාසික උත්සවයේදී සිදුවිය හැකි අපරාධමය ගැටුමකින් රටට ජාත්‍යන්තරව සිදුවිය හැකි අපකීර්තිය වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවකි.

බුද්ධි වාර්තාවලට අනුව අර්බුදයේ මූලය වී ඇත්තේ පෙරහැර සඳහා කාවඩි කණ්ඩායම් තෝරාගැනීමේදී ඇති වූ හුටපටයකි. මෙවර පෙරහැරේ කාවඩි නැටුම් සඳහා කණ්ඩායම් 47ක් ඉදිරිපත් වී තිබේ. එහෙත්, පසුගිය 2025 වසරේ පෙරහැරේදී විනය විරෝධීව හැසිරුණු බවට චෝදනා ලැබූ කණ්ඩායම් 20ක් පමණ ඉන් ඉවත් කිරීමට දේවාල පාලනාධිකාරිය තීරණය කර තිබිණි. මෙම ඉවත් කිරීමත් සමඟ එම කණ්ඩායම් පිටුපස සිටින, සංවිධානාත්මක අපරාධ කල්ලි ලෙස බුද්ධි අංශ හඳුනාගෙන ඇති පාර්ශ්වයන් අතර දැඩි මතභේදයක් හටගෙන තිබේ. බුද්ධි තොරතුරු අනුව එය “දෙහිබාලේ මල්ලි” සහ “ඌණකූරුවේ ශාන්ත” යනුවෙන් හඳුන්වන පාර්ශ්වයන් අතර ගැටුමකි. එම තත්ත්වය උග්‍ර වී ඇත්තේ විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන “කංජිපානි ඉම්රාන්” නමැත්තා විසින් තම පාර්ශ්වයේ කණ්ඩායම්වලට කාවඩි නැටීමට අවස්ථාව නොදුනහොත් පෙරහැර දිනයේ දී පුද්ගලයන් දස දෙනෙකු සහ බස්නායක නිලමේවරයා ඝාතනය කරන බවට වට්ස්ඇප් හරහා තර්ජනය කිරීමත් සමඟ ය. ඊට ප්‍රතිචාර ලෙස අනෙක් පාර්ශ්වයෙන් ද තර්ජනාත්මක හඬපට නිකුත් වී තිබිණි. ජනතාවගේ සිත්සතන් තුළ ත්‍රාසය කුළුගන්වන එම හඬපට ප්‍රධාන හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් තත්ත්වය තවත් උණුසුම් වූයේ කාලීන බොහෝ පුවත් පරදා මුල් පෙළට ඒමෙනි. එහිදී බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ අද දින දෙවිනුවර පෙරහැර නැරඹීමට 40,000කට අධික ජනකායක් සහ දේශීය, විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එවැනි ජනාකීර්ණ පරිසරයක කාවඩි නර්තනයට මුවා වී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ අනුගාමිකයන් පෙරහැරට ඇතුළු වීමෙන් පාර්ශ්වයන් අතර ගැටුමක් මෙන්ම ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවා ඇති බවයි. කාටත් වැටහෙන අන්දමට කිවහොත් ඒ දේව පුරයක දේව මංගල්‍යයක් මැදට යක්ෂයා කඩා පැනීමකි.
කාවඩි නර්තනය යනු ශ්‍රී ලාංකික ජන සමාජයට අමුතු දෙයක් නොවේ. දකුණු ඉන්දීය දෙමළ හින්දු සම්ප්‍රදායෙන් පැමිණි, මුරුගන් හෙවත් කතරගම දෙවියන් උදෙසා කරන යාතු කර්මයක් ලෙස ආරම්භ වූ භක්ති නර්තනයකි. ‘කාවඩි’ යනුවෙන් හඳුන්වන අර්ධ වෘත්තාකාරව සරසන ලද උණ ලී රාමුව උරහිසේ දරාගෙන, බෙර සහ නාදස්වරම් තාලයට අනුව සිදුකරන මෙම නර්තනය ලංකාවේ දේවාල හා බෞද්ධ පෙරහැර සංස්කෘතියට පසුකාලීනව එක් වූ ජනකාන්ත අංගයකි. පසුකාලීනව කාවඩි නර්තනය සඳහා ට්‍රම්පට්, සැක්සෆෝන්, ක්ලැරිනට්, බේස් ඩ්‍රම් ද යොදා ගැනීම මෙය අතිශය ජනප්‍රිය වීමට හේතුවකි. එමෙන්ම මෙය පූජා චාරිත්‍රයක් සේම ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන නොවිධිමත් මනෝ චිකිත්සාවක් ලෙස ද හඳුන්වනු ලැබේ.
කාවඩි නර්තනය යනු ශ්‍රී ලාංකික ජන සමාජයට අමුතු දෙයක් නොවේ. දකුණු ඉන්දීය දෙමළ හින්දු සම්ප්‍රදායෙන් පැමිණි, මුරුගන් හෙවත් කතරගම දෙවියන් උදෙසා කරන යාතු කර්මයක් ලෙස ආරම්භ වූ භක්ති නර්තනයකි. ‘කාවඩි’ යනුවෙන් හඳුන්වන අර්ධ වෘත්තාකාරව සරසන ලද උණ ලී රාමුව උරහිසේ දරාගෙන, බෙර සහ නාදස්වරම් තාලයට අනුව සිදුකරන මෙම නර්තනය ලංකාවේ දේවාල හා බෞද්ධ පෙරහැර සංස්කෘතියට පසුකාලීනව එක් වූ ජනකාන්ත අංගයකි. පසුකාලීනව කාවඩි නර්තනය සඳහා ට්‍රම්පට්, සැක්සෆෝන්, ක්ලැරිනට්, බේස් ඩ්‍රම් ද යොදා ගැනීම මෙය අතිශය ජනප්‍රිය වීමට හේතුවකි. එමෙන්ම මෙය පූජා චාරිත්‍රයක් සේම ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරන නොවිධිමත් මනෝ චිකිත්සාවක් ලෙස ද හඳුන්වනු ලැබේ. එමෙන්ම වෙනත් ලිපියකින් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළ යුතු අන්දමට කාවඩි නැටීම යනු ලෞකිකත්වය හා ලිංගිකත්වය සංකේතනය කරන නර්තනාභිචාරයකි. දකුණු ඉන්දියාවේ මුරුගන් නම් පර්වතාශ්‍රිත දෙවියා වෙනුවෙන් කාවඩියට සමාන සවිමත් මුගුරක් උරයේ හොවාගෙන කරන අපූරු නර්තනයක් පිළිබඳව සුප්‍රකට ඉතිහාසඥ ඒ. එල්. බෂාම් සිය ‘ද වොන්ඩර් වෝස් ඉන්දියා’ (අසිරිමත් ඉන්දියාව) කෘතිය මඟින් දක්වා ඇති අපූරු විස්තරය ද කාවඩි නර්තනයේ යටගියාව විමසන්නවුන් හට අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම අද වන විට කාවඩි නර්තනය අපගේ දේවාල සංස්කෘතියේ මුල් තැනක් ගෙන තිබේ.
නමුත් මෙම කාවඩි තහනමත් සමඟ පොලිසිය කාවඩි නර්තනයේ යටගියාව සොයන්නට පටන්ගෙන තිබිණි. එහිදී ඔවුන් පවසා ඇත්තේ මෙම පෙරහැරට කාවඩි එක්වී ඇත්තේ මීට වසර 40කට පමණ පෙර බවයි. ඒ අනුව පොලිසිය අප රටේ සංස්කෘතික විමසුමක යෙදුණු දුලබ අවස්ථාවක් ලෙස ද මෙය හඳුන්වන්නට පුළුවන. නමුත් “දෙහිබාලේ මල්ලි” සහ “ඌණකූරුවේ ශාන්ත” යනුවෙන් හඳුන්වන පාර්ශ්වයන් අතර ගැටුමක් මත පදනම් වූ මෙම කාවඩි නර්තනය සංස්කෘතික වශයෙන් එතරම් වැදගත් නොවන්නක් සේ පෙන්වීමට පොලිසිය දක්වන උත්සාහය හාස්‍යජනක බව අපගේ වැටහීම ය. එපමණක් නොව මෑත කාලීනව කාවඩි නර්තනයේ යෙදෙන පිරිස්වලින් 80%ක් පමණ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් මහජනතාව තුළ දැඩි අප්‍රසාදයක් ගොඩනැඟී තිබීම ද මෙම තීරණයට එක් හේතුවක් බව පොලිසිය පවසා තිබිණි. ඒ, ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට අනුව මත්පැන් පානය කොට පොදු ස්ථානයක කලහකාරී ලෙස හෝ අන් අයට හිරිහැරයක් වන පරිදි හැසිරීම 1979 අංක 41 දරන මත්පැන් බලපෑම යටතේ සිදු කරන වැරදි (විශේෂ විධිවිධාන) පනත සේම දණ්ඩ නීති සංග්‍රහය මඟින් ද වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි සංඥය වරදක් බව අමතක කරමිනි. එයින් පෙනෙන්නේ පොලිසිය මේ සම්බන්ධයෙන් “නටන්න බෑ පොළොව ඇදයි” මාදිලියේ තර්කයක් ගොඩනැඟූ බවයි.

එමෙන්ම මෙම ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නැටුම් අංගය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකොට තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ මෙම කාවඩි නැටුම් කණ්ඩායම්වල හැසිරීම් රටාව දැඩි විනය පිරිහීමකට ලක්ව ඇති බවකි. ඇතැම් අවස්ථාවලදී නර්තන ශිල්පීන්ගේ ඇඳුම් පැළඳුම් පවා අසභ්‍ය මට්ටමක පැවති බවත් පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඇතැම් වීඩියෝ දර්ශනවලට අනුව ඔවුන්ගේ රහස් ප්‍රදේශ පවා නිරාවරණය වන අයුරින් හැසිරී ඇති බව පවා සනාථ වී ඇති බවත් කීය. ඒ අනුව ඔහු අඟවා ඇත්තේ දෙවිනුවර පෙරහැර බලන්නට යන්නවුන්ට “බෝනස්” ස්වරූපයෙන් අමුතු දර්ශන ද දැක ගත හැකි බවකි. නමුදු ප්‍රසිද්ධ ස්ථානයක නිරුවතින් සිටීම යනු දණ්ඩ නීති සංග්‍රහය හා පාදඩ ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ වීඩියෝ දර්ශන මඟින් පවා එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට පොලිසියට පහසු අවකාශයක් තිබිණි. එහෙත් එසේ නොකොට ඊට හාත්පසින්ම වෙනස් මෙම කාවඩි ඉවත් කිරීම පිළිබඳ සැබෑ කතාව යටගැසීම පිණිස පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ මුවින් එලෙස “කිතුල් ගහට ගිය මිනිසාගේ කතාවක්” පිටවීම එතරම් අරුමයක් නොවේ.
ඒ අනුව දෙවිනුවර පෙරහැර පවත්වන්නේ පාතාලයන්ට ඕනෑ හැටියට නොවේ නම්, පාතාලය පරදා පෙරහැරේ අභිමානය රැක ගැනීමට ආරක්ෂක අංශවලට නොහැකිද යන පැනය ජන කරළියේ ශීඝ්‍රයෙන් ඉස්මතු විය. මෙය වත්මන් ආණ්ඩුවේ කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරීම කදිමට පිළිබිඹු වන අවස්ථාවක් සේ බොහෝ දෙනා දුටහ. එමෙන්ම පාතාලය දියත් කිරීමට සැරසෙන මිනිස් ඝාතන නැවැත්වීම පිණිස පෙරහැරේ කාවඩි අංගය ඉවත් කිරීමේ පැලැස්තරයෙන් ඔවුන්ගේ අරමුණ ඉටුවන්නේ ද? එමෙන්ම මෙම පාතාල තර්ජනය පෙරහැරේ තවත් අංගයක් මුල්කොට හෝ තවත් පෙරහැරක් මුල්කොට ඇති වුවහොත් ඒවා ද ඉවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ භාර ඇමතිවරුන්ට හා උප ඇමතිවරුන්ට සිදු නොවන්නේ ද? යන පැනය දසතින් නැඟෙන්නට විය. ඒ අනුව පාතාලය සුනු විසුණු කරන බවට පසුගිය මැතිවරණ වේදිකා දෙදරුම් කැවූ ඔවුන් කළ යුත්තේ රාජ්‍ය බලය හා නීතිය ක්‍රියාත්මක කර, තර්ජනය කළ පාර්ශ්වයන් සාපරාධී චෝදනා හමුවේ අත්අඩංගුවට ගෙන, විනයවත් හා සංස්කෘතික පදනමක් ස්ථාපිත කොට පෙරහැරේ ගාම්භීරත්වය රැකගැනීම බව බොහෝ දෙනකුගේ මතය විය.
අපගේ සිහියට නැංවුණේ 1988-1989 වසරවල ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය දියත් කළ, ජීවිත විශාල සංඛ්‍යාවකට මරු කැඳවූ, රාජ්‍ය බලය අතික්‍රමණය කොට රහසිගත ගරිල්ලා ස්වරූපයෙන් නැඟී සිටීමයි. 1989 ජූලි 18 වැනි දින රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වෙන අතරතුර බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, මෙම ප්‍රහාරයෙන් කතරගම මහ බෙත්මේවරයා ඇතුළු දහතුන් දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් හැටකට වැඩි පිරිසක් තුවාල ලැබීම එහි ඉතා සුළු කොටසක් පමණි. පසුව පොලිස් වාර්තා මඟින් ප්‍රකාශ වූයේ එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් එල්ල කරන ලද්දක් බව ය.
එහිදී අපගේ සිහියට නැංවුණේ 1988-1989 වසරවල ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය දියත් කළ, ජීවිත විශාල සංඛ්‍යාවකට මරු කැඳවූ, රාජ්‍ය බලය අතික්‍රමණය කොට රහසිගත ගරිල්ලා ස්වරූපයෙන් නැඟී සිටීමයි. 1989 ජූලි 18 වැනි දින රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වෙන අතරතුර බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර, මෙම ප්‍රහාරයෙන් කතරගම මහ බෙත්මේවරයා ඇතුළු දහතුන් දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් හැටකට වැඩි පිරිසක් තුවාල ලැබීම එහි ඉතා සුළු කොටසක් පමණි. පසුව පොලිස් වාර්තා මඟින් ප්‍රකාශ වූයේ එය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් එල්ල කරන ලද්දක් බව ය.
එවක ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ එවන් සන්නද්ධ ක්‍රියාදාමයක් එම පක්ෂය කේන්ද්‍ර කොටගත් ජාතික ජන බලවේග රජය වෙත එල්ල වීම දෛවයේ බරපතළ සංවේගාත්මක සරදමක් වූ බව නිසැක ය. අප එසේ පවසන්නේ අද වන විට අප රටේ සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් තීන්දු වලට එළැඹෙන්නේ පාතාලය ද යන බරපතල පැනය ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂාව සම්බන්ධ අඬහැර පෑ වත්මන් බලධාරීන් වෙත යොමු වෙමින් තිබුණු බැවිනි. කෙසේ වෙතත්, රජයේ මෙම ස්ථාවරය මුල් කොට ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් දෙවිනුවර උත්පලවර්ණ මහා දේවාලයේ බස්නායක නිලමේවරයා පවසා සිටියේ සය වන පේළි පෙරහැරේ කාවඩි නර්තන අංගය එකතු කිරීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවකි. එමෙන්ම, මෙවර පෙරහැරේ ලියාපදිංචි කාවඩි කණ්ඩායම් විසි පහකට පමණක් නර්තනයේ යෙදීමට අවසර ලබාදෙන බවද නිලමේවරයා එමඟින් දැනුම් දී තිබිණි. දෙවිනුවරට අධිගෘහිත විෂ්ණු උපුල්වන් දෙවිඳුන්ගේ හෝ සිය සමීපතම හිතවතකු බව කියන ජනපතිවරයාගේ ඔද තෙද බලයෙන් බස්නායක නිලමේ ගෙන තිබූ මෙම තීරණය කෙරෙහි රජයේ ආරක්ෂක අංශ තුළ කිසිදු ප්‍රසාදයක් නොතිබූ බව පැහැදිලි ය. එබැවින් ඊයේ (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් එම පසුබිම යළි සලකා බැලෙන විශේෂ රැස්වීමක් පැවැත්විණි.
එහි දී දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුකාරී තත්ත්වය සමනය කරමින් හා කංජිපානි දුරකථනය මඟින් කළ තර්ජනාත්මක ඉල්ලීම එකහෙළා අනුමත කරමින් පසුගිය වසරේ සහභාගී වූ කාවඩි කණ්ඩායම් සියල්ලටම මෙවරත් පෙරහැරට එක්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබේ. පාතාල ක්‍රියාකාරීන්ගෙන් පෙරහැර රැක ගැනීම පිණිස ගත් ආරක්ෂක පියවරක් වූ එය සාමාන්‍ය ජනතාවට දෙවිනුවර කාවඩි නැටුම් සේම තවමත් අප රටේ ක්‍රියාත්මක වන පාතාල රංගන ද එක්වරම දැක බලා ගැනීමට ලැබෙන අනගි අවස්ථාවකි. එමෙන්ම මෙම තත්ත්වය යටතේ මෙවර දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර සම්බන්ධයෙන් මින් පෙර කිසිදා නොලැබුණු ජන අවධානයක් ද හිමි වනු නියත ය.
තිලක් සේනාසිංහ