සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඊයේ (30) තීන්දු කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම, රාජකාරියේ නිරත නිලධාරීන්ට බලපෑම් කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හරක්කටා, හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කොස්තාපල් රවිඳු සංදීප ගුණසේකර, මද්දුමගේ දිනේෂ් තරංග, ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජය අබේසිංහ යන පස්දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. මින් පෙර නීතිපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළව තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන, පසුව තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ නම් ඇතුළත් කරමින් මෙම නව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබූ අතර, ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රඳවා තබා ගැනීමට ද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණි.
නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය මූලික විරෝධතා ගොනු කරමින් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට කුමන්ත්‍රණය කිරීම වැනි සාමාන්‍ය අපරාධමය සිද්ධියක් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යෙදවීම නීතිය අයුතු ලෙස භාවිත කිරීමක් බවයි. එම මූලික විරෝධතා පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා, මෙම සිද්ධියේ කරුණු සැලකිල්ලට ගැනීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන චෝදනා පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව තීන්දු කළේය. කෙසේවෙතත්, විත්තිකරුවන් කර ඇතැයි කියන වරදෙහි ස්වභාවය අනුව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර, ඒ අනුව ත්‍රස්ත චෝදනා ඉවත් වුවද දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන චෝදනා මත නඩුව ඉදිරියට විභාග වනු ඇත.