නව යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න හෙවත් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර ඇති බවට වාර්තා වේ. ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. මෙම පත් කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කෙරෙනු ඇත.ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය අවසන් වීමත් සමඟ මෙම නව පත් කිරීම සිදු කර ඇත. ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා 2024 දෙසැම්බර් 31 වන දින 25 වන යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාරගත් අතර, ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් බිහි වූ සිව්වැනි හමුදාපතිවරයා ලෙස ඉතිහාසයට එක්විය. යුද හමුදාව විසින් 2026 ජූලි 28 වන දින ඔහුට සමුදීමේ උත්සවයක් පවා සංවිධානය කර තිබුණි. මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එමෙන්ම ඔහු පසුගිය කාලයේ යුද හමුදාවේ දෙවන හා තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුරු හෙබවූ නිලධාරියෙකි. 2026 මැයි 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 69 වන මාණ්ඩලික ප්‍රධානී (Chief of Staff) ලෙස පත්කර තිබුණි. ඔහු යුද හමුදා මූලස්ථානයේදී ජූනි 01 වන දින සිය ධුරයේ වැඩ භාරගත්තේය. ඊට පෙර 2026 අප්‍රේල් 06 වන දින යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් විය. 1971 සැප්තැම්බර් 25 මහනුවරදී උපත ලැබූ ඔහු, මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1990 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වී 1992 දී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්තව ඇත. වසර 30කට වැඩි සේවා කාලයක් සහිත පළපුරුදු කාලතුවක්කු නිලධාරියෙකි.බැටරි අණදෙන නිලධාරී, බලසේනා මේජර්, අණදෙන නිලධාරී, හමුදාපතිගේ හමුදා සහකාර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ලේකම්, යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ (හමුදා ප්‍රකාශක), නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත. බටහිර සහරාවේ MINURSO මෙහෙයුමේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂකයෙකු ලෙස ද සේවය කර ඇත.මෙම පත් කිරීම පිළිබඳ නිල නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශය හා යුද හමුදා මාධ්‍ය අංශය විසින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

කාලීන පුවත්