ලෝකයේ අඩුවෙන්ම නිදා ගන්නා ජාතිය?


ලෝකයේ අඩුවෙන්ම නිදා ගන්නා ජාතිය කුමක්දැයි ඔබ දන්නවා ද? බොහෝ ජාත්‍යන්තර සමීක්ෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට ඉහත කී “වාර්තාවට” හිමිකම් කියන්නේ ජපානය යි.

අගමැති තකායිචි

ජපාන ජාතිකයන්ගෙන් 60% කට ආසන්න ප්‍රතිශතයක්  සාමාන්‍යයෙන් සතියේ දිනවල නිදා ගන්නේ පැය 6 කටත් අඩු කාලයක් බව හෙළි වී තිබේ. මේ ආකාරයෙන් නින්ද අඩු වීම  නිසා ජපාන වැසියන් තුළ ඇතිවන කායික මානසික වෙහෙස මේ වනවිට ජාතික ගැටලුවක් බවට පත්ව ඇත.

මෙම වෙහෙස හේතුවෙන් ඔවුන්ගේ ඵලදායීතාව (productivity) බෙහෙවින් පහත වැටී ඇති අතර මෙය එරට ආර්ථිකයට ද විශාල තර්ජනයක් එල්ල කර ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. වාර්ෂිකව මේ තුළින්  ආර්ථිකයට සිදුවන පාඩුව ජපාන යෙන් ට්‍රිලියන 20 ක් (ඇ. ඩොලර් බිලියන 140 ක්) පමණ වන බව වාර්තා වේ.

ජපානයේ පවතින මේ නින්ද පිලිබඳ අර්බුදය පසුබිමේ ඇති ප්‍රධාන හේතුවක් වන්නේ එරට රැකියා සංස්කෘතියේ ඇති විශේෂත්වයකි. දීර්ඝ වේලාවක් වැඩ කිරීමේ සහ රැකියා ස්ථානවල ගත කිරීමේ සම්ප්‍රදායක් ජපානය තුළ දක්නට ලැබේ. නිතර වැඩකිරීම, රැකියාව වෙනුවෙන් කැප වීම  ජීවිතයේ වටිනාකම වැඩි කරන්නක් ලෙස ඔවුහු සලකති. “නිකං හිඳීම”, විවේක ගැනීම වැනි කාරණා දෙස සෘණාත්මකව බැලීමට ඔවුන් වැඩි  නැඹුරුතාවක් දක්වන බව පිලිගැනේ. ජපන් වැසියන්ට නින්ද අඩු වීමට මේ තත්වය විශාල වශයෙන් බලපා ඇත.

මෙම නැඹුරුතාව කාලයක් තිස්සේ ජනතාව තුළ වගා කරන ලද ආකල්පවල ප්‍රතිඵලයකි. දෙවැනි ලෝක යුද්ධයේ දී ජපාන ආර්ථිකය දරුණු ලෙස කඩා වැටුනු අවස්ථාවේ එය නැවත ගොඩ නැගීම සඳහා සියලු දෙනා වෙහෙස නොබලා දැඩි කැපවීමෙන් වැඩ කළ යුතු විය. ඒ වෙනුවෙන් රට වැසියන් පොළඹවන ආකාරයේ වැඩසටහන්, ආකල්ප ආදිය මේ කාලයේ ස්ථාපිත කෙරිණි. අදටත් ජපාන ජනතාව ඒවායේ බලපෑමෙන් මිදී නැති බවක් දැකිය හැකි වේ.

ජපානය තුළ මේ වනවිට ජීවන වියදම සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්වය නිසා ද ජනතාවට වැඩි වේලාවක් වැඩ කිරීමට සිදු වී ඇත. අතිකාල දීමනා ආදිය වැඩිපුර උපයාගන්නට ඔවුන්ට සිදු වී තිබේ. මෙම තත්වය තුළ ජපන් වැසියෝ වැඩි දෙනෙක් සාමාන්‍ය රැකියා කාලයෙන් පසුව ද වැඩ කිරීමට යොමු වෙති.

නාගරිකකරණය ද ජපාන ජාතිකයන්ගේ නින්ද අඩු කිරීමට  හේතු වී තිබෙන්නකි. ජපානයේ බොහෝ දෙනෙකුට සිය රැකියා සඳහා ඈත ගම්බද ප්‍රදේශවල සිට නගරවලට පැමිණීමට සිදු වී ඇත. මේ ගමන් සඳහා පැය ගණන් ගත වේ. මේ නිසා ඔවුන්ට පාන්දරින් අවදි වී නිවෙස්වලින් පිටවීමට සිදුවන අතර රැකියා අවසන් කර  නැවත නිවෙස් වෙත ලඟාවන්නේ ද බොහෝ ප්‍රමාද වී ය.

දුම්රිය, බස් රිය වැනි පොදු ප්‍රවාහන සේවාවල, උද්‍යානවල බංකු මත කෙටි නින්දවල නිරත වන පුද්ගලයන්ගේ දසුන් ජපානයේ ඉතා සුළභ ය.

මේ අතර, නිදා ගන්නට ගියත් නින්ද නොයන (insomnia )  තත්වයෙන් ද බොහෝ ජපාන වැසියන් පීඩා විඳින බව සඳහන් වේ. කාර්යබහුල බව නිසා  ඔවුන් තුළ ඇති මානසික ආතතිය, නොසන්සුන් බව වැනි කාරණා ඊට බලපායි. ගිම්හාන කාලයේ ජපානයේ උණුසුම, විශේෂයෙන් රාත්‍රි කාලයේ උණුසුම  වැඩි වීම ද ඔවුන්ගේ නින්දට බාධා කරන්නක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

ජපන් වැසියන් ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම ඔවුන්ගේ  සෞඛ්‍යයට ද ලොකු බලපෑමක් කරන්නකි. අධි රුධිර පීඩනය, රුධිර නාල ඝන වීම වැනි තත්වයන්ට ද, දියවැඩියාව වැනි රෝගාබාධවලට  ද මේ නිසා ජනතාව වැඩිපුර ගොදුරු වෙති. මේ නිසා ඔවුන්ගේ පෞද්ගලික සෞඛ්‍ය වියදම් මෙන්ම රජයේ සෞඛ්‍ය වියදම් ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජපානයේ පවතින මේ නින්ද අඩු වීමේ අර්බුදය කාලයක සිටම විශාල අවධානයක් යොමු වන්නකි. නමුත් මෙයට ටික දිනකට පෙර මේ පිලිබඳ අවධානය වැඩි කරවන සිද්ධියක් සිදු විය. ඒ ජපාන අගමැතිනිය වන සනායේ තකායිචි විසින් ඇගේ සමාජ මාධ්‍ය පිටුවක පළ කරන ලද පෝස්ටුවකි.

දීර්ඝ සති අන්ත නිවාඩුවකින් පසු ඇය සඳහන් කර තිබුණේ බොහෝ කලෙකට පසු තමාට පැය 5 ක පමණ නින්දක් ලබා ගන්නට හැකි වූ බව යි. අගමැතිනිය ඉතා වෙහෙස වී වැඩ කරන්නියක බවට පිලිගැනීමක් ඇති අතර සාමාන්‍යයෙන් ඇය නිදා ගන්නේ දිනකට පැය 3 ක් පමණ බව පෑවසේ. ඇතැම් දිනවල  නොනිදාම වැඩ කරන බවක් ද සඳහන් ය. වරක් තකායිචි පාන්දර තුනට පමණ ඇයගේ කාර්ය මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබූ අතර එය මහත් අවධානයක් දිනාගත් සිදුවීමක් විය.

කෙසේ හෝ වේවා අගමැතිනිය  පසුගිය දා පළ  කළ  පෝස්ටුවත් සමග නැවතත් ලොකු සංවාදයක් ඇති විය. ඇය එය සටහන්  කළේ සිය ධුරයේ කටයුතු කරද්දී දක්වන කැපවීම පෙන්නුම් කිරීමට විය  හැකි වුවත් බොහෝ දෙනා  එය සැලකුවේ සමාජයට  නරක ආදර්ශයක් සපයන්නක් ලෙසිනි. වැඩ සහ සෙසු  ජීවිතය අතර සමතුලිත බව (work life balance) පිලිබඳව ඇය නොතකන බව මේ ප්‍රකාශය තුළින් කියැවෙන බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.

තවත් සමහරුන් පැවසුවේ ඇය වැඩවල ගුණාත්මක බවට වඩා ප්‍රමාණාත්මක බව අගය කරන බවක් මේ තුළින් පෙනී යන බව යි.

නින්ද අඩු වීම තුළින් ඇති වන කායික මානසික වෙහෙස කෙනෙකු ගේ වැඩවල ගුණාත්මක බව අඩු කිරීමට හේතු විය හැකි කාරණයකි. සිය රාජකාරිය තුළ ඉතා වැදගත් තීන්දු තීරණ ගැනීමට සිදුවන අගමැතිනියක මේ ආකාරයෙන් වැඩ කිරීම සුදුසු නොවන බව ද ඇතැමුන් පෙන්වා දී තිබිණි.

කෙසේ හෝ වේවා,  අගමැතිනියගේ පෝස්ටුව  නිසා ජපාන ජනයාගේ නින්ද පිලිබඳ අර්බුදය නැවතත් උණුසුම් මාතෘකාවක් බවට පත් විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර