කඨින පින්කම් ඇතුළු වෙනත් ආගමික උත්සව වලදී එම ආගමික ස්ථානීය ගරුත්වය ආරක්ෂා වන ගීත පමණක් යොදා ගන්නා මෙන් බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කොට තිබේ.
ඒ සඳහා ආසන්නතම හේතුවක් වී ඇත්තේ මේ දිනවල පැවැත්වෙන කඨින පෙරහැර වල හේවිසි හොරනෑ වාදනයේ දී යොහානි ද සිල්වා යොවුන් ගායිකාව විසින් ගයන ලදුව මහත් ආන්දෝලනයක් ඇති කළ මැණිකේ මගේ හිතේ නම් ගීතයේ අනුවාදනයන් ඉදිරිපත් කිරීමේ නව ජනප්‍රිය සම්ප්‍රදායක් ආරම්භ වී තිබීම ය.
ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ පවත්නා අනේක විධ පින්කම් අතුරින් කඨින පින්කම් සම්බන්ධ සුවිශේෂත්වයක් තිබේ. එනම් මෙය බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා පදනම් වන භික්ෂු විනය හා සම්බන්ධ ගිහියන් විසින් පවත්වන එකම පුන්‍ය කර්මය වීම ය.
එනිසාම මූලික ධර්ම විනයෙහි සඳහන් ව නැතත් මෙම කඨින පින්කම් වල අගය සහ කුසලානුභාවයන් පසුකාලීන බෞද්ධ ලේඛනවල උත්කෘෂ්ට ලෙස හුවා දක්වා තිබේ.
මෙවන් පසුබිමක් යටතේ මෙතෙක් පැවැති චිරාතන සම්ප්‍රදායන් උල්ලංඝනය කොට දැනට දශක කිහිපයක සිට කඨින පින්කම් කඨින සැනකෙළි, කඨින කානිවල් දක්වා විපරීත වීමේ නැඹුරුවක් පෙන්නුම් කරන බව ප්‍රකට රහසකි.
පැරණි සම්ප්‍රදායානුකූලව කුකුළා හැඬලීමෙන් පසු කපුටා හැඬීමට පෙර ආරාමයට වැඩම කරවා ගෙන යා යුතු කඨින චීවරය සහිත පෙරහැරවල් අලි ඇතුන්, උඩරට පහත රට නැටුම් සමඟ පෙර දින සවස සිට ප්‍රදේශය පුරා සංචාරය කිරීමත් එම සැනකෙළි ස්වරූපයේ කටයුතු වෙනුවෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් නිරර්ථක අයුරින් වියදම් වීමත් විශාල වශයෙන් මුදල් ගසා කෑමත් මෙම පුන්‍ය කර්මය සම්බන්ධ සමාජ අවභාවිතයකි.
ඉහත සඳහන් ‘මැණිකේ මගේ හිතේ’ නම් ගීතය ස්වර වාදන භාණ්ඩයක් නොවන හොරනෑ මගින් වැයෙද්දී ඒ තාලයට කඨින පෙරහැරවල් වල හේවිසි වයනු ලබන්නේ එම අවභාවිතාව තව දුරටත් ප්‍රවර්ධනය කරමිනි.මෙම තත්වය යටතේ අද වන විට කඨින පින්කම ජන වහරට අනුව කිවහොත් හුදු කෝලමක්, නාඩගමක් බවට පත්ව තිබේ.
අපගේ බෞද්ධ සංස්කෘතියෙහි පින්කම් සංවිධානය කරනුයේ ජනතාව තුළ පින් සිත් පුබුදුවමිනි. එම පින් සිත තුළ විනයක්, සංවරයක්, සුශික්ෂිත බවක් තිබේ.
එහෙත්,වර්තමානයේ පින්කම් සංවිධානය කරන බොහෝ දෙනකුගේ සිත් සතන් තුළ එවැනි දැහැමි සිතුවිලි ස්ථාපිත වී නොතිබීම මත ඔවුන් බොහෝ දෙනෙකු එය හුදු විනෝදාංශයක් ලෙස යොදා ගන්නා අයුරු පෙනෙයි. ඉහත සඳහන් ගීතය බෞද්ධ සම්ප්‍රදායට අනුව උතුම් පින්කමක් වන කඨින පින්කම් තුළට පවා පිවිසියේ ඒ අනුව ය.
එම ‘මැණිකේ මගේ හිතේ’ නම් ගීතය මේ වන විට අපගේ ජන මනැස කෙතරම් උන්මාදයකට ලක් කොට තිබේදැයි කිවහොත් එහි පදමාලාවට අනුරූප වන සේ ‘හිමියනි මගේ හිතේ’ යනුවෙන් නිසරු අව්‍යක්ත පද ගැලපුමක් සහිත ගායනයක් සහිත වීඩියෝවක් ද මේ වන විට අන්තර් ජාලයට පිවිස තිබේ.
සුදු වතින් සැරසුණු කුඩා පිරිමි දරුවන් තිදෙනකු සහ කුඩා දැරියන් ගේ සිට මැදි වයස් දක්වා වූ කාන්තාවන් පිරිසක් විසින් ගායනා කරන බවක් අඟවමින් කිසියම් ජලාශයක් අද්දර රූපගත කොට ඇති එහි දසසිල් මාතාවන් ගේ රූප කිහිපයක් ද ප්‍රදර්ශනය කෙරේ.
එහෙත්, එහි අතිශය ඛේදනීය තත්වය එය නොවේ. එම ගීතයේ බුදු රජාණන් වහන්සේ ආමන්ත්‍රණය කෙරෙන සෑම අවස්ථාවකම ඒ සඳහා ‘නුඹ’ යන වදන යෙදීම ය.
මැණිකේ මගේ හිතේ ගීතයේ පදමාලාවට හැකිතාක් අනුරූප ලෙසින් එම ‘හිමියනි මගේ හිතේ’ ගීතය සඳහා නිසරු පද ගොන්නක් එක් කළ තැනැත්තා ගේ සිට එම වීඩියෝව තනා සමාජගත කළ තැනැත්තවුන් දක්වා වන ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් එමගින් සැබෑ බුද්ධාභිවන්දනයක යෙදීම අපේක්‍ෂා නොකළ බව ඒකාන්ත සත්‍යයකි. ඔවුනට අවශ්‍ය වූයේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ලැබූ ජනප්‍රියත්වය නම් “අනුන් ගේ පහනින් එළිය බැලීමට” පමණි.
එහෙත්, බුදු රජාණන් වහන්සේට ‘නුඹ’ යනුවෙන් කීප වරක්ම ආමන්ත්‍රණය කරමින් සමාජ ජාලා ඔස්සේ පොදු ජනතාව ගේ අවධානයට යොමු කොට ඇති ඒ නිසරු ළාමක නිර්මාණය සම්බන්ධයෙන් අප රටේ මහා සංඝරත්නය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මෙරට ගිහි බොදු ප්‍රජාව මේ දක්වා ම කිසිදු පියවරක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.
එමගින් සිදුවන්නේ මෙවැනි බරපතල අවභාවිතයන් හමුවේ අප සමාජයේ ආගමික සංස්කෘතික පදනම මත ස්ථාපිත වී ඇති සදාචාරය අමු අමුවේ වල පල්ලට ඇදී යාම පමණි.
කදුරුපොකුණේ සුමංගල හිමි