ජනපතිගේ දෝතළු මල් පූජාවේ තිත්ත ඇත්ත

අනුරාධපුර රුවන් වැලි මහ සෑයේ මල් ආසන මත දක්නට ලැබෙන අනේක විධ මල් වර්ග අතුරින් පරිසරවේදීන්ගේ විස්මයත් කම්පාවත් දනවන මල් වර්ගයක් ද තිබේ.එනම් රන් දෝතළු ය.

2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ 42 වගන්තියේ viii උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුලත් කොට ඇති එම ශාකය අප රටට පමණක් ආවේනික වූවකි.එහි විද්‍යාත්මක නාමය Loxococcus repicola යනුවෙනි.

එමෙන්ම අද වන විට වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.එනිසාම මෙම ශාකය කැඩීම/ ගැලවීම/ කොටසක් හෝ හානි කිරීම සහ විකිණීම පවා තහනම් ය.එසේ කරන්නවුන් හට රුපියල් දස දහසේ සිට විසි දහස දක්වා දඩ මුදලක් අය කිරීමටත් වසර දෙකේ සිට පහ දක්වා ඒ පුද්ගලයා බන්ධනාගාර ගත කිරීමටත් අධිකරණයට  බලය තිබේ.

රුවන් වැලි සෑයට පුදනු ලබන මෙම රන් දෝතළු සම්බන්ධයෙන් දැනගන්නට ඇත්තේ එය මෙරට ප්‍රභූන් විසින් රුවන් වැලි සෑය විෂයෙහි කරනු ලබන විශේෂිත පූජාවක් බව ය.

එම තොරතුර කෙතරම් සත්‍යයක් ද යන්න අපට මනාව වැටහී ගියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා තම පදවි ප්‍රාප්තියේ දෙවන සැමරුම වෙනුවෙන් අනුරාධපුර රුවන් වැලි මහ සෑය උදෙසා රන් දෝඅතළු පූජා කරන ඡායාරූප මාධ්‍ය වලට නිකුත් වීමත් සමඟ ය.

ඔහු සමඟ ඔහුගේ වැඩිමල් සොයුරු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් ප්‍රභූන් ද මෙම “නීති විරෝධී” පූජාවේ යෙදී සිටිනු ඡායාරූප වල දැක්වෙයි.මෙය පරිසරයට සැබෑ ඇල්මක් දක්වන්නවුන්ගේ හදවත් කම්පා කරවන දසුනක් බවට සැක නැත.

sirpaflw

සිරිපා පතුළ පිහිටුවීම සඳහා සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සමන් දෙවියන් විසින් සමනල අඩවියෙන් නෙළා ගත් දෝතළු මල් පූජා කළ බවත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවත් මීට වසර තිහකට පමණ ඉහත ශ්‍රී පාද අඩවියේ ශ්‍රී පලාබද්දල,ඉහළ පවනැල්ලේ පාරම්පරික ගැමියකු වූ එල්.ඒරොන් මහතා අප හා කියා තිබේ.

ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ අපගේ මුළු රටින්ම එම පරපුරට අයත් රන් දෝතළු දැකිය හැක්කේ ශ්‍රී පාද හිමය තුළ පමණක් බව ය.හුදෙක්  සබරගමු ජනප්‍රවාදයක් වූ මෙම රසවත් කතා පුවත සත්‍ය පුරාවෘත්තයක් ලෙස නාගරික සමාජය තුළට පිවිසීම මත අදටත් අන්ධ භක්තියෙන් යුතු දේශපාලනඥයන්,ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් විශේෂිත අනුහස් පතා මෙම මල් පුජා කරනු පෙනෙයි අනුරාධපුර රුවන්වැලි සෑයට අමතරව.

ශ්‍රී පාදස්ථානය  සහ කෑලණි විහාරය මෙම අයුතු පූජාව සිදුවන ස්ථාන ලෙස හඳුනාගෙන තුබේ.නමුත් 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඒ කිසිවකුත් අත් අඩංගුවට පත් වූ බවක් දැනගන්නට නැත. මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසූ අපට දැනගත හැකි වූයේ මීට දශක කිහිපයකට ඉහත මෙම ජන ප්‍රවාදය සත්‍යයක් වශයෙන් ශ්‍රී පාද වන්දනාවේ එන ධනපතීට හැඟවූ වංචනික පුද්ගලයන් මෙම රන් දෝතළු විකිණීමේ ජාවාරමකට මුල පුරූ බව ය.

ඒ අනුව අතීතයේ රුපියල් දහසකට පමණ අලෙවි වූ රන් දෝතළු මලක් අද රුපියල් දස දහසක් දක්වා මිලකට අලෙවි කෙරෙන බවත් දැන ගන්නට ඇත. ඒ අනුව ජනාධිපති වරයා රුවන්වැලි සෑයට පුදා ඇත්තේ ද එලෙස නීති විරෝධී ලෙස කඳුකර පරිසර පද්ධතියකින් ඉවත් කරගත් රන්දෝතළු මල් ය.

එමෙන්ම මේවා සැපයුම් මාර්ග පිළිබඳව සමාජ ජාල ඔස්සේ ද තොරතුරු සන්නිවේදනය වන මුත් එම ජාවාරම් සම්බන්ධ අනියම් ප්‍රවර්ධනයකට හේතු වන බැවින් ඒ තොරතුරු හෙළි නොකර හිඳීම හොඳ ය.

මේ තත්වය යටතේ තම පදවි ප්‍රාප්තියේ දෙවන සැමරුම වෙනුවෙන් ජනපති වරයා කළ මෙම නොගැළපෙන හෙවත් අපේ ගම්බද බාසාවෙන්ම කිවහොත්”නොහොබිනා පූජාව”ආදර්ශයකට කෙසේ වෙතත් පාඩමකට ගෙන අපගේ පරිසරය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම කෙරෙහි වඩ වඩාත් උනන්දු වීම අප කාගේත් යුතුකමක් වී තිබේ.

තිලක් සේනාසිංහ

හරිත දනව්ව