මං හරිම මෝඩයෙක් කී අසූ එක් වියැති යොවුන් කවියා

යොවුන් ගැදි, පැදි නිර්මාණ ශිල්පීන් ගේ කුසලතා එළිදක්වන “wall එක–අපේ කාලයේ කැටපත් පවුර” තුළින් අපි හාපුරා කියා ඉදිරිපත් කරන්නේ එක් විශේෂිත ‘යොවුන්’ කවියෙකු ගේ කවි පොතකින් උපුටා ගත් ‘මං හරිම මෝඩයෙක්’ කියන කවි පන්තියයි.

මේ කවියා කවියකු හැටියටත් වඩා සමාජය දැන හඳුනා ගෙන ඉන්නේ කෞතුකවේදය, පුරාවිද්‍යාව වගේම මානව විද්‍යාව ගැන අපේ රටේ හිඳින මුල්ම පෙළේ උගතෙක් විශාරදයෙක් විදිහට. ඒ තමයි ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ.

හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂවරයකු වගේම කාලයක් කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂවරයා හැටියටත් කටයුතු කරපු ආචාර්ය ලක්දුසිංහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවියත් හොබවා ඇති විද්වතෙක්.

ඊට අමතරව සාහිත්‍ය ධරයෙක්, සාහිත්‍ය විචාරකයෙක්, ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩල සාමාජිකයෙක් හැටියට සුප්‍රකට නමක් දිනා ගෙන හිඳින ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ලියූ ‘ශ්‍රී ලංකාවේ පැරණි හින්දු දේව ප්‍රතිමා’ නම් ග්‍රන්ථයට 2020 වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය ග්‍රන්ථයට හිමි ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමි වීමත් විශේෂ කරුණක්.

අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මේ වසරේ ලියා එළි දක්වපු ‘කවියකට නිමිත්තක්’ නම් කවි පොතේ එන ‘මං හරිම මෝඩයෙක්’ කියන කාව්‍ය සංකල්පනය. තරුණ සරසවි සිසුවකුගේ ස්නිග්ධ භාවාත්මක අත්දැකීමක් මේ පද්‍ය සංකල්පනාව තුළින් කාව්‍යාත්මකව ගොනු කරගන්නා ආචාර්ය ලක්දුසිංහ ගේ වයස මේ වන විට අවුරුදු අසූ එකක්. ඒත් අපි මෙතැන දී ඔහු යොවුන් කවියෙක්, නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔබට හඳුන්වා දෙනවා.

ඒ ඔහුගේ ජෛවමය යොවුන් බව පසෙක තිබිය දී නිර්මාණාත්මක යොවුන් බව මේ කවි පන්තියෙන් හරි අපූරුවට එළි දැක්වෙන හින්දයි. වයස, තරාතිරම කුමක් වුවත් ඔබටත් මේ වගේ යොවුන් ගැදි, පැදි නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් නම් wall එක අපේ කාලයේ කැටපත් පවුර’ ඔබ සඳහාත් විවෘතයි.

මං හරිම මෝඩයෙක්

 

කුරුල්ලෙකු ඇරි මිටින්

ඉගිල්ලී යන ලෙසින්

චුත ව සරසවි බිමින්

ඉගිළ ආවේ තුටින්

දකින්නට මිසක ඇය

වෙනත් දෙයකට නොවෙයි

 

මගේ පැමිණීම දැන වෙනද මා එන්ට පෙර

සිටී ඇය අපේ ගෙදරට ඇවිත්

 

එහෙත් අද

 

ගෙය අඳුරු ගුහාවකි

මූසලයි හතර වට

ජනේලෙන් පෙනෙන්නේ

ගිනි අව්වෙ පිළිස්සෙන

පුරන් වුණු වෙල්යාය

ගෙවත්තේ අඹ ගසක් බදාගෙන

මැලවී ගිය සමන් වැල

 

 

පැමිණියේ මා ගෙදර

රටක් දිණූ රජකු ලෙස

එහෙත් දැන්

පරාජිත සෙබළෙකි ය

 

විභාගය අත ළඟ ය

ගෙවෙන කල රන් වැනි ය

එහෙව් මොහොතක මෙ ලෙස

කුමට මම ආවෙමි ද

 

එපා පිසිනට කෑම

එපා තේ

එපා මට කිසි දෙයක්

යන්ට ඕනෑ දැන් ම

මේ දැන් ම

 

කපාලූ ගසක් මෙන්

පෙරලුනෙමි ඇඳහි මම

දෙපා අත් දිගා කොට

වසාගෙන ඇස් දෙකම කිටි කිටියෙ

 

ඇතුල් වීලා හෙමින්

ගෙදර පිටුපස දොරෙන්

නැගණියන් සමඟ ඒ

කොඳුරන්නෙ

ඈ නො වෙද

 

ජනේලෙන් පෙනෙයි මට

ලියදු මත ඉගිළ යන

මාල ගිරවුන් රෑන

නට නටා වෙල් මැද්දෙ

සරුංගල් උඩ අරින

ළමා ලපටින් පිරිස

 

මෑත් කර

දොර රෙද්ද

එබෙනු ඇත මොහොතකින්

වලා අතරින් නැගෙන සඳක් වැනි

සුදු වතක්

wall එක