කාවන්තිස්ස හස්තියාගේ මරණයට දින 10ක් : තවමත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නැහැ

 

ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ජාතික සම්පතක් ලෙස සැලකූ කාවන්තිස්ස හස්තියාගේ මරණයට අද (27) දිනට දින 10ක් සපිරී ඇතත්, එහි නිශ්චිත මරණ හේතුව අනාවරණ කරන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැත.ශ්‍රී ලංකාවේ විශාලතම සහ උසම දළ ඇතා ලෙස සැලකූ කාවන්තිස්ස 2026 ඔක්තෝබර් 16 වනදා මිය ගියේය. වෙඩි වැදීමෙන් ඉදිරිපස දකුණු පාදයට සිදුවූ තුවාලයකට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව වාර්තා විය.මරණයෙන් පසු ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය පශු වෛද්‍ය නිලධාරීන්ට නියෝග කළේ, මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව අධිකරණ නියෝගය මත කාවන්තිස්ස හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය උස්ගල, සියඹලන්ගමුව යාය තුන වෙල්යායේදී සිදු කෙරිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාවින්ද විජේසූරිය මහතා ඇතුළු පශු වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වුණු අතර, පරීක්ෂණයෙන් අනතුරුව සිරුරු කොටස් වැඩිදුර විමර්ශනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යැවීමට කටයුතු කෙරිණි. පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය අංශයට භාර දී ඇති බවත්, එහි සියලු තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට නියමිත බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබුණි.කෙසේ වෙතත්, අධිකරණය නියෝග කර දින 10ක් ගතවී ඇතත්, එම වාර්තාව මෙතෙක් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල මහතා පවසා ඇත්තේ, වාර්තාව ලැබෙන තෙක් මරණය ඖෂධ අධි මාත්‍රාවක් හෝ වෙනත් හේතුවක් නිසාදැයි කිව නොහැකි බවයි.මේ අතර, කාවන්තිස්සගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව පළමු වරට ඔක්තෝබර් 21 වනදා ජනාධිපති කාර්යාලයේදී රැස්විය. එම කමිටුවට දින 30ක් ඇතුළත සම්පූර්ණ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.ප්‍රතිකාර වලදී ඇන්ටිබයොටික් අධි මාත්‍රාවක් ලබාදීම හේතුවෙන් බඩවැලේ හිතකර බැක්ටීරියා මියයාමෙන් ඇතිවූ පාචන තත්ත්වය මරණයට හේතු වන්නට ඇතැයි පරිසරවේදීන් චෝදනා නගද්දී, වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ උපරිම මැදිහත්වීම කළ බවයි. වාර්තාව ප්‍රමාද වීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ ව්‍යාජ තොරතුරු සහ සැක සංකා පැතිර යමින් පවතී.මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් නිකුත් කර, විමර්ශන කටයුතු විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට ගෙන යන ලෙස පරිසරවේදී සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්