ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් රත්න ශ්‍රී ඉල්ලා අස්වෙයි

ප්‍රවීණ කවියකු, ගීත රචකයකු සහ සාහිත්‍යවේදියකු වන රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ 29 වන දින අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර, රාජකාරි කටයුතු නිල වශයෙන් භාරදීම සඳහා ඔහු හෙට දින කාර්යාලය වෙත පැමිණීමට නියමිතය.දීර්ඝ කාලයක් තිස්සේ ඉටුකරන ලද මෙහෙවර සැලකිල්ලට ගනිමින් 2024 දෙසැම්බර් 16 වන දින ජාතික ජන බලවේග රජය විසින් ඒ මහතා මෙම තනතුර සඳහා පත් කරනු ලැබීය.බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ජාතික පුස්තකාල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව දිවයිනේ පුස්තකාල සේවාව නවීකරණය කිරීම වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට ඔහු මැදිහත් වී කටයුතු කළේය.ඉකුත් කාලය තුළ ජාතික ජන බලවේග රජය විසින් ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් ප්‍රබල සමාජ විවේචන එල්ල වුව ද රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු ගේ ප්‍රසාදය පළ විය.
1953 ජූනි 02 වන දින නාකියාදෙණිය, තෙල්ලඹුර ප්‍රදේශයේ උපත ලැබූ රත්න ශ්‍රී විජේසිංහ මහතා මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ සාහිත්‍යධරයෙකි.

ඔහුගේ ඉල්ලා අස්වීමට අදාළ හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත.

කාලීන පුවත්