ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබා ගැනීමේ ජනතා පෙත්සම් ව්‍යාපාරය අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.ඒ අනුව, අද උදෑසන දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක් පැවැත්වීමෙන් අනතුරුව අත්සන් ලබා ගැනීමේ කටයුතු ආරම්භ වූ අතර, එම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගි වූහ.මෙම පෙත්සම් ව්‍යාපාරය අද දිනයේදී දෙවිනුවර, මාතර, වැලිගම, හබරාදුව සහ ගාල්ල යන නගරවලදී ක්‍රියාත්මක කරන බව එහි සංවිධායක පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ පැවසූහ.එමෙන්ම, හෙට (10) දිනයේදී කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.ඥානසාර හිමියන්ට පනවා තිබූ වසර හයක සිරදඬුවම බලාත්මක කිරීමට අභියාචනාධිකරණය පසුගිය 5 වැනිදා නියෝග කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට ලබා දී තිබූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 10 වැනිදා ලබා දුන් තීන්දුවෙන් අනතුරුවය.එම නීතිමය පසුබිම තුළ ඥානසාර හිමියන්ට නැවත ජනාධිපති පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ව්‍යාපාරය සංවිධානය කර තිබේ.

කාලීන පුවත්