බන්ධනාගාර මරණ පිටුපස හදිසි නීතියට මග පාදන කුමන්ත්‍රණයක් ?

යමෙකු බන්ධනාගාරගත කරන්නේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නොවන බවත්, නමුත් රථවාහන වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ අයෙක් පවා එහිදී මිය ගොස් ඇති බවත් පෙන්වා දෙමින්, මේවා පාලනය කර ගැනීමට නොහැකි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේදැයි සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කර සිටී.ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.බන්ධනාගාර තුළ මෑතකදී වාර්තා වූ අඛණ්ඩ මරණ සහ නොසන්සුන්කාරී සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් මහලේකම්වරයා පැවසුවේ, මේවා අහම්බෙන් සිදුවන සිදුවීම් විය නොහැකි බවයි. මෙම සිදුවීම්, රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි තමන්ට දැඩි සැකයක් පවතින බව ද ඔහු අවධාරණය කළේය.”පාතාලය මර්දනය කළා කියලා පුරසාරම් දොඩවන ආණ්ඩුවට, බන්ධනාගාරගත කරලා ඉන්න පිරිස පාලනය කරගන්න බැරිවීම හාස්‍යයට කරුණක්. යමෙක් බන්ධනාගාරගත කරන්නේ මරණ දණ්ඩනය දෙන්න නෙවෙයි. රථවාහන වරදකට ගිය කෙනෙක් පවා එතන මැරිලා තියෙනවා. මේවා පාලනය කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ?” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.පළමු බන්ධනාගාර සිදුවීම තමන් දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා බවට විෂය භාර අමාත්‍යවරයා කළ ප්‍රකාශය තුළින්ම ආණ්ඩුවේ අසමත්භාවය මනාව පැහැදිලි වන බව ද මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. බන්ධනාගාර තුළ මෙවැනි සිදුවීම් එක පිට එක වාර්තා වීම කිසිසේත්ම අහම්බයක් විය නොහැකි බව ඔහුගේ අදහසයි.තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,”පසුගිය මැතිවරණයේදී සියයට 42ක ජනවරමක් පමණක් ලැබූ මේ ආණ්ඩුව, අද වන විට වේගයෙන් ජනතාවගෙන් ඈත් වෙමින් ඉන්නවා. ඒ ජනතා විරෝධය මර්දනය කරන්නත්, විපක්ෂය දමනය කරන්නත් මෙවැනි කෘත්‍රිම අර්බුද නිර්මාණය කරලා හදිසි නීතිය වැනි මර්දනකාරී නීති ගෙන එන්න ආණ්ඩුව උත්සාහ කරන බවට අපට සැකයක් තියෙනවා. හොරුන් අල්ලන මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ,” යනුවෙන් පැවසීය.

කාලීන පුවත්