මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු නොවන බවට රජය පවසන්නේ නම්, ඔහු සිය විදේශ පුරවැසිභාවය අහෝසි කරගත් දිනය වහාම රටට ඉදිරිපත් කරන ලෙස සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා ආණ්ඩුවට අභියෝග කර සිටියි.කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා අවධාරණය කළේ හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළද, එය තහවුරු කිරීමට මෙතෙක් කිසිදු නිල හෝ පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් කර නොමැති බවයි.හර්ෂණ සූරියප්පෙරුම මහතා 2010 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බවත්, එය සනාථ කිරීමට අවශ්‍ය සියලුම ලේඛන තමන් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති බවත් රන්ජන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. රජය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, සූරියප්පෙරුම මහතා එම පුරවැසිභාවය අත්හැරියේ කුමන දිනකද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ යුතු බව ඔහු කියා සිටියේය.හිටපු කථානායක අශෝක රන්වල මහතා සම්බන්ධ සිදුවීමේදී මෙන්, මෙම බරපතළ කාරණයද පදනම් විරහිත ප්‍රකාශ මගින් යටගැසීමට උත්සාහ නොකරන ලෙස රන්ජන් සෙනෙවිරත්න මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ පුවත මේ වන විට සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති අතර, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම රජයෙන් ප්‍රශ්න කරමින් සිටියි.