ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති ධුරය හෙබවූ රවී නිශ්ශංක මහතා එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. අද (මැයි 29) දින සිට බලපැවැත්වෙන පරිදි තමන් සභාපති ධුරයෙන් සමුගන්නා බව ඒ මහතා සිය සමීපතමයන් වෙත ද දැනුම් දී තිබේ.පෞද්ගලික හේතූන් මත තමන් මෙම වගකීමෙන් නිදහස් වීමට තීරණය කළ බව පවසන රවී නිශ්ශංක මහතා, ඊට අදාළ නිල ඉල්ලා අස්වීමේ ලිපිය ද අදාළ අමාත්‍යාංශය වෙත මේ වන විටත් භාර දී ඇති බව තහවුරු වේ. එමෙන්ම තමන් ධුරය දැරූ කාලසීමාව පුරාවට විෂය භාර අමාත්‍යාංශය, මණ්ඩලයේ නිලධාරීන් සහ සේවක මණ්ඩලය ලබා දුන් දිරිගැන්වීම් මෙන්ම සහයෝගය වෙනුවෙන් ද ඒ මහතා සිය කෘතඥතාව පළ කර ඇත.මේ සම්බන්ධයෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති කාර්යාලයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සභාපතිවරයා අවසන් වරට ඉකුත් බදාදා (මැයි 27) දින කාර්යාලය වෙත පැමිණ සිය රාජකාරි කටයුතු සක්‍රියව සිදු කළ බවයි. ඉන් අනතුරුව මෙම ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.දිවයිනේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස රවී නිශ්ශංක මහතා කටයුතු කළ කාලය තුළ, නව ව්‍යවසායකත්ව වැඩසටහන් සහ කලාපීය කාර්මික පුරවරයන්හි යටිතල පහසුකම් නංවාලීම සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දී තිබුණි. ඔහුගේ හදිසි ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ඉදිරි දින කිහිපය තුළ නව නිලධාරියෙකු පත් කිරීමට අදාළ අමාත්‍යාංශය පියවර ගනු ඇතැයි ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්