අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වා, එම පරීක්ෂණය අවසන් වන තෙක් ඔහුව අනිවාර්ය නිවාඩු මත වැඩකටයුතුවලින් පසෙක තබන ලෙස ඉල්ලමින් ‘ඒකාබද්ධ විපක්ෂය’ විසින් අල්ලස් කොමිසමේ සභාපති ඩබ්.එම්.එන්.පී. ඉද්දවෙල මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත. 2026 මැයි 26 වැනි දිනැතිව යොමු කර ඇති එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ ගැටලු සහ චෝදනා රැසක් මේ වන විට සමාජගත වී ඇති බවයි.
ඒකාබද්ධ විපක්ෂය මෙම චෝදනා සඳහා පදනම් කරගෙන ඇත්තේ මියගිය කපිල චන්ද්‍රසේන මහතා ජීවත්ව සිටියදී ගරු අධිකරණය වෙත ලබාදී ඇති දිවුරුම් ප්‍රකාශයක සඳහන් කරුණු ය. එම දිවුරුම් ප්‍රකාශයට අනුව, කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවකදී අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරූපයෙන් කටයුතු කර ඇති බව ලිපියෙන් අනාවරණය වේ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් මෙම සිදුවීමට අදාළ බවට ප්‍රකාශ කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර ඇති අතර, මීට පෙර ‘කෙනෙහෙළියගේ නඩුවට’ පැමිණි අයෙකුට තමා ‘චාන්ස් දෙකක්’ දුන් බවත්, එය නොගත් බැවින් ඔහුට නඩු පැවරීමට පෙර දින ‘එල්ලී මැරුණු’ බව පවසමින් මනෝවිද්‍යාත්මක තර්ජන එල්ල කර ඇති බවටද එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.
මෙම කරුණු සත්‍ය නම් එය සමස්ත අල්ලස් කොමිසම කෙරෙහිම මහජන විශ්වාසය බිඳවැටීමට හේතුවන අතිශය බරපතළ තත්ත්වයක් බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පනතට හෝ ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරන්නේ නම් ඔහුට එරෙහිව පියවර ගැනීමට කොමිෂන් සභාවට පූර්ණ බලතල පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව, ජී. එල්. පීරිස්, අජිත් කුමාර, බන්දුල චන්ද්‍රසේකර සහ සුදත් මංජුල ඇතුළු දේශපාලන නායකයින් රැසකගේ අත්සනින් යුතුව යොමු කර ඇති එම ලිපිය මගින් ප්‍රධාන ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇත. අදාළ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් චෝදනා පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් නොපමාව පැවැත්වීම, පරීක්ෂණවලට කිසිදු බලපෑමක් එල්ල වීම වැළැක්වීම සඳහා පරීක්ෂණ අවසන් වන තෙක් අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු ගැන්වීම සහ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු මත පදනම්ව සුදුසු නීත්‍යානුකූල පියවර ගැනීම එම ඉල්ලීම් වේ. රංග දිසානායක මහතා 2023 දෙසැම්බර් මස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ අතර, ඊට පෙර ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කර ඇත.