වසර 70කට පෙර අපටත් දුම්රිය එන්ජිමක් තැනිය හැකි බව ලොවට කියා පරණ යකඩවලට ගිය ‘ජයන්ති’


ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් නිෂ්පාදනය කිරීම සම්බන්ධ මූලික සැලසුමක්වත් මෙතෙක් ඉදිරිපත් වී නැත. එහෙත් මීට වසර හැත්තෑවකට ඉහත අපට එම වාර්තාව තැබීමට හැකි වූ බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ මුල්ම දේශීය නිෂ්පාදනය ලෙස සුවිශේෂී ස්ථානය හිමි කරගත් එන්ජිම වූයේ Class M3 අංක 589 ‘ජයන්ති’ ය. 1956 සැප්තැම්බර් 5 වැනිදා සිය මංගල ධාවනය සිදු කළ, මෙලෙස දේශීයව නිර්මාණය කළ ඩීසල්-විදුලි දුම්රිය එන්ජිමට 2026 සැප්තැම්බර් 5 වැනිදාට වසර 70ක් සම්පූර්ණ විය.

එහෙත් ‘ජයන්ති’ගේ කතාව හුදෙක් පැරණි දුම්රිය එන්ජිමක 70 වැනි සංවත්සරය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය 1930 දශකයේ අරඹන ලද රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ සිටි ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන්, විදේශයෙන් සම්පූර්ණ එන්ජිමක් ආනයනය කිරීම වෙනුවට භාවිතයෙන් ඉවත් කළ දුම්රිය කොටස් නැවත උපයෝගී කරගෙන ධාවනය කළ හැකි නව ඩීසල්-විදුලි එන්ජිමක් නිර්මාණය කළ ආකාරය පිළිබඳ විශිෂ්ට පුරාවෘත්තයකි.

‘ජයන්ති’ගේ උපතේ පසුබිම සොයා බැලීමේදී අප 1938 වසර දක්වා ආපසු යා යුතුය. එවකට Ceylon Government Railway (CGR) විසින් එංගලන්තයේ English Electric සමාගමෙන් ගෙන්වන ලද S1 වර්ගයේ ඩීසල් බහු ඒකක බලවේග කට්ටල තුනක් මෙරට දුම්රිය සේවයට එක්කර තිබිණි. ඒවා Silver Foam, Silver Spray සහ Silver Mist ලෙස නම් කර තිබූ අතර, ඒවායේ එක් බල ඒකකයක එන්ජින් දෙක බැගින් තිබිණි. එම එන්ජින්වල බලය එක් එන්ජිමකට අශ්වබල 180කි. මෙම S1 කට්ටල 1950 දශකයේ මැද භාගය වන විට සේවයෙන් ඉවත් කිරීමට ලක්විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඒවා දිගින් දිගටම මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීම නිසා ඒවායේ ලෝහ කොටස් මළකඩ කා දිරාපත් වීමය. එහෙත් ඒවායේ භාවිත කළ හැකි අභ්‍යන්තර යාන්ත්‍රික කොටස් සහ එන්ජින් පැවතීම නව නිර්මාණයකට අවස්ථාවක් බවට පත්විය.

ඒ අනුව රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු රාජ් ගෝපාල්ගේ මඟපෙන්වීම යටතේ, S1 බලවේග කට්ටලවලින් ලබාගත් එන්ජින් සහ අනෙකුත් කොටස් යොදාගෙන නව ඩීසල්-විදුලි දුම්රිය එන්ජිමක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. රත්මලාන වැඩමුළුවේ දුම්රිය සේවකයන් විසින් එහි යටිරාමුව සහ බඳ ආදී කොටස් නිර්මාණය කළ බව දුම්රිය ඉතිහාස මූලාශ්‍ර සඳහන් කරයි. එහිදී එම කාර්යයට සම්බන්ධ වූවෝ ශ්‍රමදානයක ස්වරූපයෙන් තම සේවාව ඉටු කළ බවද ප්‍රකට කරුණකි.

M3 589 ‘ජයන්ති’ එන්ජිමට S1 බලවේග කට්ටලවලින් ලබාගත් අශ්වබල 180 බැගින් වූ එන්ජින් දෙකක් යොදා තිබිණි. ඒ අනුව එහි සමස්ත බලය අශ්වබල 360ක් විය. එය ඩීසල්-විදුලි සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත වූ අතර Bo-Bo රෝද සැකැස්මකින් යුක්ත විය. එහි බර ටොන් 46–47ක් පමණ වූ අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 88–89ක් පමණ විය. එහි එන්ජින් Willans & Robinson H6 වර්ගයට අයත් වූ අතර විදුලි පද්ධතිය English Electric නිෂ්පාදන සමඟ සම්බන්ධ විය.

මෙවැනි තාක්ෂණික දත්ත අද අපට සාමාන්‍ය සංඛ්‍යා කිහිපයක් ලෙස පෙනිය හැකිය. එහෙත් 1950 දශකයේ ශ්‍රී ලංකාවේ දුම්රිය කර්මාන්තශාලාවකදී, සීමිත සම්පත් මධ්‍යයේ මෙවැනි එන්ජිමක් නිර්මාණය කිරීමේ අභියෝගය තේරුම් ගත් විට එහි වැදගත්කම වඩාත් පැහැදිලි වේ.

M3 589ට ‘ජයන්ති’ යන නම ලැබීමද 1956 වසරේ සුවිශේෂී ඓතිහාසික පසුබිම සමඟ සම්බන්ධ වේ. 1956 වසර දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්තිය සැමරුම් වසර වූ බැවින්, එම අවස්ථාව සිහිපත් කරමින් පළමු M3 එන්ජිම ‘ජයන්ති’ ලෙස නම් කර තිබේ. 1956 වසරේ බලයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය සිංහල භාෂාවේ හා බුදු සමයේ පුනර්ජීවනය වෙනුවෙන් කටයුතු කිරීම අරඹා තිබූ අතර එය එවක ජනතා ප්‍රබෝධයටද හේතු වී තිබිණි.

1956 සැප්තැම්බර් 5 වැනිදා ‘ජයන්ති’ එන්ජිමේ මංගල ධාවනය සිදු වූ අතර, එවකට ප්‍රවාහන අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක විසින් එය උත්සවාකාරයෙන් සේවයට හඳුන්වා දුන් බව දුම්රිය ඉතිහාස මූලාශ්‍ර සඳහන් කරයි.

එතැන් සිට ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් විය. ඒ, රටක් ලෙස අපට විදේශයෙන් දුම්රිය එන්ජින් ලබාගැනීම පමණක් නොව, අප සතු සම්පත් සහ දේශීය තාක්ෂණික දැනුම භාවිතයෙන් එවැනි යන්ත්‍රයක් නිර්මාණය කිරීමටද හැකියාව තිබෙන බව එය ප්‍රායෝගිකව පෙන්වා දීම නිසාය. ඒ අනුව ඉදිරියේදී නිරන්තරයෙන්ම දේශීය වශයෙන් නිපදවන දුම්රිය එන්ජින් ධාවනයට එක් වන බවට පුවත්පත්වල කතුවැකි පවා පළ විය.

නමුත් M3 පන්තිය යනු විශාල නිෂ්පාදන මාලාවක් නොවේ. මෙම පන්තියෙන් එන්ජින් දෙකක් පමණක් නිෂ්පාදනය කර තිබිණි. පළමුවැන්න M3 589 ‘ජයන්ති’ වූ අතර, දෙවැන්න M3 590 ය. 590 ද රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කර තිබූ අතර, මූලාශ්‍ර අනුව එය 1957/1958 කාලයේ නිම කර ඇත. අද ලෝකයේ විශාල කර්මාන්තශාලාවල දුම්රිය එන්ජින් සියගණනින් නිෂ්පාදනය වන පසුබිමක, එවකට ශ්‍රී ලංකාව වැනි රටක දුම්රිය කර්මාන්තශාලාවක් තුළින් දේශීයව එන්ජින් දෙකක් නිර්මාණය කිරීම කුඩා ව්‍යාපෘතියක් වුවද, ඉංජිනේරු ඉතිහාසයේ එහි අගය විශාලය.

M3 එන්ජින් මුලින්ම සැලසුම් කර තිබුණේ ප්‍රධාන වශයෙන් දුම්රිය අංගනවල මැදිරි සහ දුම්රිය කට්ටල එහා මෙහා කිරීම වැනි ෂන්ටින් (Shunting) කටයුතු සඳහාය. ඒවායේ සැලසුම සහ බල ධාරිතාව එවැනි කාර්යයන් සඳහා වඩාත් සුදුසු වූ බව දුම්රිය ඉතිහාස මූලාශ්‍ර සඳහන් කරයි. එහෙත් ‘ජයන්ති’ යම් අවස්ථාවල මගී සේවා සඳහාද භාවිත වූ බවට දුම්රිය ඉතිහාස ලේඛන සහ දුම්රිය ලෝලීන්ගේ වාර්තා සඳහන් කරයි. අනුරාධපුරය, මැදවච්චිය සහ මහව ආශ්‍රිත ප්‍රාදේශීය ධාවන සම්බන්ධයෙන්ද වාර්තා පවතී.

විශේෂයෙන් දේශපාලන මැදිහත්වීමක් හේතුවෙන් එය නිශ්චිත ප්‍රදේශයක ධාවනයට යොදවා තිබූ අතර එහි එන්ජිම අධික ලෙස රත්වීම වැනි යාන්ත්‍රික ගැටලු නිතර මතු වන්නට පටන් ගෙන තිබේ. සැහැල්ලු ධාවන කටයුතු සඳහා නිර්දේශ කොට තිබූ ‘ජයන්ති’ උතුරු දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතුවල යෙදවීම නිසා වරින් වර “ලෙඩ වූ” බවත්, ඒ අනුව එය ඒ සෑම විටෙකම රත්මලානට ගෙන ඒමට සිදු වූ බවත් කියනු ලැබේ.

දුම්රිය මූලාශ්‍ර අනුව දශකයකට ආසන්න කාලයක් පමණ සේවයේ යොදවා තිබූ M3 589 සහ M3 590 යන එන්ජින් දෙකම 2002දී ඉවත් කර අබලි ලෙස විනාශ කර තිබේ. මෙහි ඇති වඩාත්ම කනගාටුදායක කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ දේශීයව නිර්මාණය කළ පළමු ඩීසල්-විදුලි දුම්රිය එන්ජිම ලෙස ඉතිහාසගත වූ ‘ජයන්ති’ අද ජාතික දුම්රිය කෞතුකාගාරයක සංරක්ෂණය වී නොතිබීමය. එය අදත් සංරක්ෂණය වී තිබුණේ නම්, පාසල් දරුවකුට, ඉංජිනේරු ශිෂ්‍යයකුට හෝ සාමාන්‍ය දුම්රිය ලෝලියකුට වසර 70කට පෙර ශ්‍රී ලංකාවේ දේශීය කාර්මික හැකියාව කෙතරම් දුරට පැවැතිණිදැයි තම දෑසින් දැකගත හැකිව තිබිණි. අද ශ්‍රී ලංකාව විවිධ කාර්මික උපකරණ, වාහන සහ යන්ත්‍රෝපකරණ විදේශයෙන් ආනයනය කරන රටකි. එවැනි පසුබිමක 1950 දශකයේදී රත්මලාන දුම්රිය වැඩමුළුවේ ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන් කළ මෙම නිර්මාණය යළි සිහිපත් කිරීම වටින්නේ ඒ නිසාය.

ඔවුන් සතුව තිබුණේ නවීන පරිගණක ආශ්‍රිත සැලසුම් පද්ධති නොවේ. අද අපට පහසුවෙන් ලබාගත හැකි නවීන නිෂ්පාදන තාක්ෂණයද නොතිබිණි. එහෙත් තිබූ සම්පත් හඳුනාගෙන, භාවිතයෙන් ඉවත් කළ යන්ත්‍ර කොටස්වල වටිනාකම තේරුම්ගෙන, ඒවා නැවත අරමුණකට යොදා ගැනීමට ඔවුහු සමත් වූහ. එය ප්‍රතිචක්‍රීකරණය, සම්පත් කාර්යක්ෂමතාව සහ දේශීය ඉංජිනේරු නිර්මාණශීලීත්වය පිළිබඳ දශක හතකට පෙර ලියැවුණු අපූරු පාඩමකි.

සැබැවින්ම ‘ජයන්ති’ගේ වටිනාකම ඇත්තේ එහි අශ්වබල 360 තුළ පමණක් නොවේ. එහි සැබෑ බලය ඇත්තේ, “අපටත් කළ හැකිය” යන විශ්වාසය තුළය.

2026 සැප්තැම්බර් 5 වැනිදා M3 589 ‘ජයන්ති’ සිය 70 වැනි සංවත්සරය සපුරා ගත් නමුදු ‘ජයන්ති’ අද අපට ඉතිරි කර ඇත්තේ ඡායාරූප, තාක්ෂණික තොරතුරු සහ දුම්රිය ඉතිහාසය පිළිබඳ ලියැවුණු මතකයන් පමණි. එහෙත් එම මතකය අපට වැදගත් පණිවුඩයක් දෙයි. 1956දී රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවෙන් දුම්රිය මඟට පැමිණි ‘ජයන්ති’ කියා සිටියේ, ශ්‍රී ලංකාවට දුම්රිය එන්ජින් ධාවනය කිරීම පමණක් නොව, ඒවා නිර්මාණය කළ හැකි රටක් වීමටද හැකියාව තිබූ බවය. වසර 70කට පසුව, එම ඉතිහාසය අප අමතක කළ යුතු නැත. ‘ජයන්ති’ යනු දුම්රිය එන්ජිමක් පමණක් නොවේ. එය පසුකාලීනව පරණ යකඩ ලෙස මකා දමන ලද ශ්‍රී ලාංකික ඉංජිනේරු දක්ෂතාව, කාර්මික ශිල්පීයත්වය සහ දේශීය නිර්මාණශීලීත්වය පිළිබඳ රන් අකුරින් ලියැවුණු ඉතිහාසයකි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය