ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම යළි බලාත්මකයි

අසත්‍ය ලේඛන ඉදිරිපත් කර අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් (Diplomatic Passport) සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකාරිය කෙරුණු, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනු ලැබීය.ඒ අනුව, ඇයට පනවා තිබූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ දඩය යළි වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන බව අධිකරණය නියෝග කළේය.මෙම අභියාචන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ, විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ පැරණි තීන්දුව නිවැරදි බැවින් එය ඒ අයුරින්ම ස්ථිර කරන බවයි. පෙත්සම්කාරිය වෙනුවෙන් මතු කරන ලද කරුණු මඟින් මහෙස්ත්‍රාත් අධිකරණ තීන්දුව වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් පෙන්වා දී නොමැති බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ උපන් දිනය ඇතුළු ව්‍යාජ තොරතුරු හා අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් ලෙස රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව මත ය.2022 මැයි 27 දින දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇය වරදකාරිය කරමින්, බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක (100,000) දඩයක් නියම කළේය.2022 මැයි 31 දින එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබුණි. ඇප මත නිදහස්ව සිටිමින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ විභාග වූ මෙම අභියාචන පෙත්සම අද දින ප්‍රතික්ෂේප වීමත් සමඟ, ඇයට නියම වූ සිරදඬුවම විඳීම සඳහා ඇයව යළි බන්ධනාගාරගත කිරීමට නියමිත ය.

කාලීන පුවත්