ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියි.මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඩුබායි හි නියෝජිත ආයතනයකට ගෙවිය යුතු වූ මාසික මුදල් මෙලෙස වැරදීමකින් වෙනත් බැංකුවකට යොමු කර ඇති බවයි. අදාළ ගෙවීම් එමිරේට්ස් එන්.බී.ඩී (Emirates NBD) බැංකු ගිණුමට සිදුකළ යුතුව තිබුණ ද, චෙන්නයි ශාඛාව විසින් එම මුදල් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ (Abu Dhabi Islamic Bank) ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වී ඇත.මෙලෙස වැරදි ගිණුමට යොමු කර ඇති මුදල එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් 974,500ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි අටකට (මිලියන 80කට) අධික ප්රමාණයකි.
වෙනත් බැංකු ගිණුමකට යොමු වූ මෙම මුදල් නැවත ලබා ගැනීමට මෙතෙක් නොහැකි වීම හේතුවෙන් මේ වන විට විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුවීම බරපතළ කරුණක් බව පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා, රජය වහාම මැදිහත් වී මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කර බලා විධිමත් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.