සත්ව හිමිකම් සුරැකීමට සහ අලි මරණවලට එරෙහිව කොළඹදී සාමකාමී විරෝධතාවක්

සත්ව සුභසාධන සංවිධාන, ක්‍රියාකාරීන් සහ සත්ව ලෝලීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (05) කොළඹදී සාමකාමී විරෝධතාවයක් පවත්වනු ලැබීය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම දිනෙන් දින ඉහළ යන අලි මරණ සංඛ්‍යාව පිළිබඳව මෙන්ම, රජයේ පාලනය යටතේ ආරම්භ කිරීමට යෝජිත සත්ව රැකවරණ මධ්‍යස්ථාන සහ දහන යන්ත්‍ර සහිත ආදාහනාගාර සම්බන්ධ ප්‍රායෝගික අසාර්ථකත්වය හා ඒ කෙරෙහි පවතින අවිශ්වාසය පිළිබඳවද දැඩි අවධානයක් යොමු කෙරිණි. විරෝධතාවයට එක්වූවන් රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ආදාහනාගාර සහිත මධ්‍යස්ථාන ඇති කිරීමට වැය කරන ප්‍රතිපාදන, සතුන් ව්‍යන්ධකරණය (Sterilization) සහ එන්නත්කරණය (Vaccination) සඳහා ප්‍රමුඛතාවය දෙමින් යොදවන ලෙසයි.විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ 2024 සහ 2025 යන වසර දෙකෙහිදීම ජාතික සුනඛ ව්‍යන්ධකරණ වැඩසටහන අඛණ්ඩව ප්‍රමාද වීම හේතුවෙන්, 2026 වන විට දිවයින පුරා සුනඛ ගහනයේ පැහැදිලි වර්ධනයක් දැකගත හැකි බවයි. මෙම තත්ත්වය හමුවේ 2030 වසර වන විට ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට තබා ඇති ඉලක්කය නැවත වරක් හුදු කටවචනයකට පමණක් සීමා වනු ඇතැයි ද ඔවුහු මෙහිදී අනතුරු ඇඟවූහ.මීට අමතරව, වසර 2008න් පසුව පළමුවරට 2026 අයවැයෙන් ජාතික සුනඛ ව්‍යන්ධකරණ වැඩසටහන වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නොමැති බව ඔවුහු අනාවරණය කළහ. එසේ වුවද, දිවයිනේ පවතින පළාත් පාලන ආයතන 343 න් එක් පළාත් පාලන ආයතනයක් පමණක්, සුනඛ ආදාහනාගාරයක් සහිත නවාතැනක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක අතිවිශාල මුදලක් වෙන් කර තිබීම බලධාරීන්ගේ ප්‍රමුඛතාවයන්හි පවතින බරපතළ දෝෂයක් බව විරෝධතාවයේ නිරත පිරිස් වැඩිදුරටත් පෙන්වා දුන්හ.

කාලීන පුවත්