ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා අප අසා නැති තරම් ය. මරණයට පෙර තමාගේ මිනී පෙට්ටිය සාදා නිම කර ගත් පුද්ගලයන්ගේ කතා නම් ඉඳ හිට අසා තිබෙන්නට පුළුවන. නමුත් මරණයට පෙර අවමංගල්‍ය උත්සව ගැනීම අපට ආගන්තුක කාරණයකි. අපට එසේ වුව ද ලෝකයේ බොහෝ රටවලට එය පුදුමයට හෝ අසුබ කාරණයක් හෝ නොවේ. ලෝකයේ මෙය Living funeral හෝ pre-funeral නමින් ප්‍රකට ව තිබේ. අපට මෙය ‘ජීවමාන අවමංගල්‍ය උත්සව’ හෝ ‘පූර්ව අවමංගල්‍ය උත්සව’ වැනි නමකින් හැඳින්විය හැකිය. අපට අරුමයක් වුවත් ලෝකයට අරුමයක් නොවන මේ ගැන අද අපි කතා කරමු.
දූපත් මානසිකත්වයෙන් සහ ගතානුගතික අදහස්වලින් පිරි බහුතරයක් වෙසෙන අප වැනි සමාජයක මෙය විකාරයක් හෝ අසුබ දෙයකැයි සිතුන ද මේ චාරිත්‍රය ලෝකයේ සෙසු රටවල් අතර වේගයෙන් පැතිර යමින් පවතී. යමෙක් ජීවත් ව සිටිය දීම තමාගේ අවමංගල්‍ය උත්සවය ගැනීම මෙහි දී සිදු වේ.
මෙය සිදු වන්නේ කෙසේද?
ලෝකයේ සෙසු රටවල මේ අවස්ථාව සංවිධානය කරන්නට සහය ලබා දෙන්නේ අවමංගල්‍ය කටයුතු සිදු කරන ආයතනයක් මගින්මය. ජීවමාන අවමංගල්‍ය උත්සව සංවිධාන කිරීම සඳහා ඔවුන්ගේ වෙනම සේවයක් පැවැත්වෙයි. යම්කිසි පුද්ගලයකු ජීවත් ව සිටිය දීම සිය අවමංගල්‍ය උත්සවය සිදු වන්නේ කෙසේද යන අත්දැකීම විඳීම මෙහි අරමුණ වේ. විශේෂයෙන් සිය අවමංගල්‍යයට කෙතරම් හිතවතුන් පිරිසක් සහභාගී වන්නේ ද යන මානසික තෘප්තිය ලබා ගැනීමේ අවස්ථාවක් ද මෙහි දී හිමි වේ. මේ සම්බන්ධ නිශ්චිත රීති මාලාවක්, චාරිත්‍ර මාලාවක් නො පවතින අතර පුද්ගල කැමැත්ත මත මෙය සංවිධානය කෙරෙන ආකාරය තීරණය කර ගත හැකිය.
මෙවැන්නක් කරන්නට තීරණය කරන්නේ ඇයි?
අප සාමාන්‍යයෙන් මරණය අපේක්ෂා කරමින් ජීවත් නො වුනත් ඇතැම් පුද්ගලයන් එසේ ජීවත් වන අවස්ථා තිබේ. දරුණු පිළිකා රෝගයක්, අනතුරක් නිසා යන්ත්‍ර මගින් ජීවිතය රැක ගෙන සිටින රෝගියෙක්, වෙනත් මරණීය, සුව කළ නො හැකි රෝගයකින් පීඩා විඳින පුද්ගලයන්ට ජීවත් වන්නට ඇති කාලය කෙටිය. බොහෝ විට ඒ බව එකී රෝගයෙන් පීඩා විඳින පුද්ගලයා අවබෝධ කොට ගෙන සිටියි. ජීවමාන අවමංගල්‍ය උත්සවයක් බොහෝ විට සංවිධානය කරනු ලබන්නේ එවැනි පුද්ගලයන් සඳහා ය.
අප සමාජයේ ද එවැනි රෝගයකින් පීඩා විඳින පුද්ගලයන් සඳහා දාන මාන පින්කම් සිදු කරන අවස්ථා දැකිය හැකිය. ඇතැම් කාරණාවලින් එය අදාළ පුද්ගලයාගේ සිත සතුටු කරවීමට ගන්නා උත්සාහයක් වුවද ජීවමාන අවමංගල්‍යය එයට වඩා වෙනස් ය. ජීවමාන අවමංගල්‍යයක දී අදාළ පුද්ගලයාට සිය නෑදෑ හිතමිතුරන් සමග එක් වන්නට අවසන් අවස්ථාවක් හිමි වේ. ඔවුන්ට මරණයට පෙර සිය හිතවතුන් සමග තමා කැමති ගීත රස විඳිය හැකිය. වසර ගණනක් පැරණි අතීත මතකයන් ස්මරණය කළ හැකිය. සිය අවමංගල්‍යයට සහභාගී වූ පිරිස සමග මරණයට පෙර ඉතා සමීප අත්දැකීමක් ලබා ගත හැකිය.
මේ අවමංගල්‍යයේ දී සියලු වටපිටාව සකස් කෙරෙන්නේ අවමංගල්‍ය අවස්ථාවක් හා සමානවමය. දේහය තැන්පත් කරන පෙට්ටියක් තිබෙන අතර අදාළ පුද්ගලයා වැඩි වශයෙන් සිටින්නේ එහි සැතපීගෙනය. සහභාගී වන සියලු දෙනා අවමංගල්‍යයකට ගැළපෙන ඇඳුම්වලින් සැරසී පැමිණෙන අතර ඔවුන් හැසිරෙන්නේ ද ඒ ආකාරයෙනි. අවමංගල්‍යයක දී සිදු කෙරෙන ආගමික වතාවක් ද දක්නට හැකිය. සරසා ඇති මල් පවා අවමංගල්‍යයන් සඳහා තෝරා ගන්නා ඒවාය. තමාගේ අවමංගල්‍යයේ මල්වල සුවඳ , තමා මිය යන්නට පෙර තමාටම විඳිය හැකිය. ජීවත් ව සිටිනවුන්ට තමාගෙන් සිදු වූ වැරදි ඇත්නම් ඒවාට සමාව අයැද සිටින්නට මෙය මහඟු අවස්ථාවකි. මන්ද තව නොබෝ දිනකින් තමා මෙලොව හැර යන බැවිනි. එවැනි අවස්ථාවක දී යම්කිසි පුද්ගලයකු නොමසුරුව සමාව පිරිනැමීම සිදු කෙරෙන්නේ නොබෝ දිනකින් මෙලොව හැර යන එකී පුද්ගලයාට ඒ කෙටි කාලය හෝ සැහැල්ලුවෙන් ගත කරන්නට එය අවස්ථාවක් සලසා දෙන බැවිනි.
කෙසේ නමුත් ඇතැම් පුද්ගලයන් කිසිදු රෝගාබාධ තත්ත්වයක් නොමැතිව වුව ද ජීවමාන අවමංගල්‍ය පවත්වන අවස්ථාවන් දැකිය හැකිය. බොහෝ දෙනෙක් එවැන්නක් කරන්නේ තමා මිය ගිය පසු නැවතත් මේ සා වියදමක් දරමින් අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම වළක්වා ගැනීම සඳහා ය. ජීවමාන අවමංගල්‍යයක් පැවැත්වීමෙන් පසු යම්කිසි පුද්ගලයකු මිය ගිය පසු අවමංගල්‍ය කටයුතු කරන ආයතනය වහා එකී මිය ගිය පුද්ගලයාගේ සිරුර භූමදානය කිරීමට හෝ ආදාහනය කිරීමට කටයුතු කරයි. ඒ අවස්ථාව සඳහා පවුලේ අය හැර අන් කිසිවකු සහභාගී වන්නේ නැති අතර සියල්ල අවම වියදමකින් සිදු කෙරේ.
ලෝකයේ වැඩිම වැඩිහිටි ජනගහනයක් ඇති ජපානයේ ජීවමාන අවමංගල්‍යයන් වැඩි වශයෙන් සිදුවන රටක් ලෙස සැලකේ. ජපන් බසින් මෙය ‘සෙයිසෙන්සෝ’ නමින් හඳුන්වන අතර එහි වැඩිහිටියන් දුර්වල වෙමින් පවතින සිය සිරුර පිළිබඳ දක්වන්නේ දුක්බර, අවමානයක් වැනි හැඟීමකි. ඔවුන් සිතන්නේ තමා තවදුරටත් තම දරුවන්ට බරක් ලෙසිනි. මේ මානසික පීඩාවෙන් යම් තාක් දුරකට හෝ මිදීම සඳහා ජීවමාන අවමංගල්‍යයන් පැවැත්වීම බහුලව සිදු කෙරෙනු දැකිය හැකිය. ජපානයේ ඇතැම් අවස්ථාවල දී වැඩිහිටි වියෙහි පසුවන්නන් පිරිසක් සමග ඔවුන්ට අවමංගල්‍යයක අත්දැකීම ලබා දෙන අවස්ථාවන් ද දැකිය හැකිය. එය බොහෝ විට වැඩමුළුවක් වැනි අවස්ථාවකි. ඔවුන් එකී කාලය පුරාම සිටින්නේ මිනී පෙට්ටියක් තුළය. අවසානයේ ඔවුන් පෙට්ටියට දමා එහි පියන වසා තමා යම්කිසි වෙලාවක් තබයි. ඔවුන් බොහෝ දෙනෙක් පෙට්ටිය විවර කරද්දී නැගී සිටින්නේ හැඬූ කඳුළිනි. තම මරණය පිළිබඳ එය තමාටම දුක්වන්නට ඔවුහු ඒ අවස්ථාව ලබා ගනිති. එය ද තවත් ආකාරයක ජීවමාන අවමංගල්‍ය අත්දැකීමකි.
විවේචන
ලෝකයේ බොහෝ රටවල මෙය වේගයෙන් පැතිර ගිය ද මේ සම්බන්ධ විවේචන නැතිවාම නොවේ. මෙවැනි උත්සවවලට එරෙහිව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්විය යුත්තේ යම් පුද්ගලයකුගේ මරණයෙන් පසුව මිසක පෙර නොවන බවය.
කෙසේ නමුත් තමා ජීවත්ව සිටිය දී තමාට හිතවත්ව සිටි නොසිටි සියලු දෙනා තමා ජීවත්ව සිටියදීම අගය කරන්නට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස මෙයට පක්ෂව අදහස් දක්වන්නෝ පවසති.
නිරංජන් චාමින්ද කරුණාතිලක