බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ තවත් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද හෙට සහ අනිද්දා (13, 14 15) යන දිනවලදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වලට නොවැම්බර් 14 සහ 15 යන දිනවලදී වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ පුරෝකථන අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කර තිබේ.ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින අතර, එය අද පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද ඒ මහතා පෙන්වා දී තිබේ.දැනට ලැබී ඇති කාලගුණ දත්ත අනුව මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට සමාන්තරව උතුරු දෙසට ගමන් කරමින් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතී. ඒ අනුව මෙම කාලගුණික පද්ධතිය සෘජුවම ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ හැකියාව දැනට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව ද මෙන්ඩිස් මහතා සඳහන් කර ඇත.