උත්සව පවත්වන්න මත්පැන් ඕනමද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අලුත් අවුරුද්දක් ළඟ ළඟම එනවා.
රට පත්වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා, බහුතරයකගේ ආර්ථිකය ඒ තරම් සරු නැති වුනත් හැමෝම වගේ තම තමන්ට පුළුවන් විදියට අලුත් අවුරුද්ද සිරිත් පරිදි සතුටින් සමරන්න තමයි උත්සාහ කරන්නේ.
පුලු පුලුවන් විදිහට දෙමාපියන්ට දූ දරුවන්ට හිතවතුන්ට තෑගි බෝග දෙන්න, ඇඳුමක් පැළඳුමක් ගන්න, රස කැවිලි ටිකක් හදාගන්න හැමෝම වගේ අහිංසක උත්සාහයක යෙදෙන බව පේනව.
අහිංසකයි කිවුවේ ඉතිං බොහෝ දෙනෙකුට බොහෝ දෙනෙක්ව අවුරුද්ද සමයේදී සතුටු කරන්න ඕනකම තිබුනට ඒක කරන්නේ ලොකුවට සල්ලි බාගේ අතේ ගැවසෙන හින්දා නෙමෙයි. බොහොම අමාරුවෙන් දුක් මහන්සි වෙලා හොයාගන්න මුදලකින් තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන් අමතර වියදම් දරලා ගම රට බලා යන්නේ .
ඒත් ඉතින් සල්ලි වලට වඩා වටින්නේ පවුලේ ආදරය සෙනෙහස බෙදා හදා ගැනීම නිසා ටිකක් අමාරුවෙන් හරි වියදම් කරලා අලුත් අවුරුද්දක් හොඳින් සමරන එක ගොඩක් වටිනවා.
අනේ ඒ උනාට කණගාටුවෙන් වුණත් කියන්න ඕනා , මේ වටිනා සෙනෙහසේ උත්සවය සමහරු සමරන හැටි නම් අන්තිම අශෝභනයි අප්‍රියජනකයි. සමහර විට මේ උතුම් උත්සවයේ හරය පවා විකෘති කරන සුළුයි.
හැමෝම නෙවේ, හැබැයි සමහරක් මේ දවස මත්පැන් බෝතල් වටකරගෙන කන බොන එකට මුල්තැන දීගෙන බේබද්දන්ගෙ නාඩගමක් බවට පත් කරගෙන තිබුණු බවත් පහුගිය අවුරුදු වල දකින්න තිබුනා.
කෑවට බිව්වට, සිංදුවක් දෙකක් කියලා පාටියක් දැම්මට නරකක් කියනවා නෙමෙයි . මිනිස්සුන්ට ඒවා අවශ්‍යයි.
ඒත් සමහර මිනිස්සුන්ට නිමිත්ත මොකක් වුනත් කමක් නෑ බොන්න අවස්ථාවක් පාදගන්න විතරයි ඕනේ. සිංහල අවුරුද්දටත් බොනවා ,නත්තලටත් බොනවා, පල්ලියේ මංගල්ලෙටත් බොනවා පාස්කුවටත් බොනවා, මඟුල් ගෙදරත් බොනවා, මරණ ගෙදරත් බොනවා, සතුටට කියලා බොනවා, ඇගේ අමාරුවට කියලා බොනවා, දුකට කියලා බොනවා, හොඳ දවසකට ඉතින් ටිකක් ගන්නවා කියලා බොනවා… බලාගෙන ගියාම නොබොන දවසක් නෑ…
අපේ රටේ ආගමික සංස්කෘතික උත්සවවලත් හරය මත්පැන් වලින්ම හේදිලාම යන්න සමහරු වැඩ කරන්නේ අන්තිම නින්දිත විදිහට.
සමහර තාත්තලා පුතාලත් එක්ක එකට මත්පැන් බොනවා. හරි ෂෝක් ආදර්ශයක් නේද! අනේ අනිච්චං.
ලැජ්ජයි! මේවටයි අපි ඇත්තටම කනගාටු වෙන්න ඕනෙ.
එකක් මතක තියාගන්න.
කිසිම උත්සවයක් ප්‍රීතිමත්ව සතුටින් ගත කරන්න මත්පැන් කිසිසේත් අවශ්‍යම නැහැ…මිතුරන් සමගින් සුහදව ගත කරන්න සිංදුවක් දෙකක් කියලා ගිටාර් එකක් ගහලා විනෝද වෙන්න ඔබට මත්පැන් අවශ්‍ය නැහැ. මත්පැන් අහලකටවත් නොගෙන ඉතාම ප්‍රීතිමත් මිත්‍ර සමාජයක් පවත්වාගෙන යන්න කිසිම බැරිකමක් නැහැ.
ඔබට, ඔබේ පවුලට, ඔබේ හිතමිතුරන්ට, ඔබේ ගමට, රටට වටිනා පුද්ගලයෙක් විදිහට විශාල සේවයක් කළ හැකි දැවැන්ත පෞරුෂයක් ගොඩගහගන්න ඔබට පුළුවන්.
ඒකට මත්පැන් කිසිසේත් අවශ්‍ය වෙන්නේ නෑ .


මත්පැන්වලින් කෙරෙන්නේ ඔබගේ පෞරුෂය දුර්වල කරලා, කෙලින් හිතන්න බැරි කෙලින් හිටගන්න බැරි දුර්වල පුද්ගලයෙක් බිහිකරන එක විතරයි.
කෙනෙක් මත්පැන් වලට ඔබව යොමු කරනවා නම් ඔහු මිතුරෙක් නෙමේ හතුරෙක්. ඔබේ පෞරුෂයත් විනාශ කරන, ඔබේ ආර්ථිකයත් විනාශ කරලා ඔබේ රැකියාවත් විනාශ කරලා ඔබේ දෙමව්පියන්ට පවුලෙ අයටත් අගෞරව කරලා, ඔබව විනාශ මුඛයටම ඇද දාන ඒ වගේ ‘යාළුවන්ගෙන්’ ප්‍රවේසම් වෙන්න.
බීමට ඇබ්බැහි වුණු බේබද්දෙක් තුළින් ආදර්ශමත් උසස් පෞර්ෂයක් මතු වෙන්නෙ නැහැ.
විශේෂයෙන් මේ රටේ අති බහුතරයක් කන්නවත් සල්ලි නැති තරමට අසරණ වෙලා ඉන්න අවස්ථාවක, මත්පැන් වලට සල්ලි වියදම් කරනවා කියන එක විශාල පාපයක් වගේම සාපයක්. ඒක ආශිර්වාදයක් නෙවෙයි කොහොමටවත්.
ඒ නිසා හැදෙනවනම් හැදෙන්න, කැමතිනම් අහලා පිළිපදින්න, ඔබට ඉතාම ආදරයෙන් එකක් කියන්නම්.
මත්පැන් බොන්න එපා.
සිංහල අවුරුද්දට විතරක් නෙමෙයි කොහොමටවත් බොන්නම එපා.
මත්පැන් ඕනෙම නැහැ..
ඔබ අද ඒ තීරණය ගත්තොත් හෙට දවසේ සමාජයේ, බබලන පිරිපුන් ආකර්ෂණීය පුද්ගලයෙක් විදිහට තෘප්තිමත් සතුටකින් ජීවත් වෙන්න හැකියාව ඔබට ලැබේවි.
මත්පැන් වලින් තොර ජීවිතය ඇත්තටම ලස්සනයි හරිම සැහැල්ලුයි .අත්දුටුයි! සහතිකයි!

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

පහන් ටැඹ