එක්ස් රේ පරීක්ෂණ ගැන ඔබට නොපෙනෙන තතු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

කුමක් හෝ රෝගයකට දෙතුන් වරක් බෙහෙත් ගත් පසුවත් සුව නොවූ කල “ඩොක්ටර් මගේ එක්ස්රේ එකක් අරන් බලන්න බැරිද?” යනුවෙන් රෝගීන්ම යෝජනා කරන අවස්ථා තිබේ. එක්ස්රේ එකක් යනු කුමක්ද ? ඔබ එය දැක තිබුණත් එය අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවලදී ද යන්න ගැන නම් බොහෝ දෙනෙකුට දැනීමක් නොතිබෙන්නට පුළුවන.
අපේ ශරීරයේ සෑදී තිබෙන්නේ මස්, ලේ, ඇට ආදියෙන් බව ඔබ දනී. එක්ස්රේ එකක් යනු ශරීරය තුළ ඇති මේ විවිධාකාර වූ දේවල් පෙන්නුම් කරන ඡායාරූප විශේෂයකි.
දැල්වූ විදුලි පන්දමක් ඉදිරියෙන් ඔබ බිත්තියක් අසල සිටගෙන සිටියොත් ඔබේ සෙවනැල්ල එම බිත්තියේ පතිත වෙනු ඇත. එක්ස්රේ එකද මීට සමාන ය. මේ අයුරින්ම විදුලි පන්දමක් ඉදිරියේ වතුර වීදුරුවක් අල්ලාගෙන සිටින සැටි සිහිපත් කරන්න. එවිට වීදුරුවේ ඡායාව වෙනමත්, වීදුරුව තුළ ඇති වතුරවල ඡායාව වෙනමත් බිත්තිය මත වැටී තිබෙන අන්දම ඔබට පෙනෙනු ඇත. යම් අයුරකින් ඔබ වතුර වීදුරුව තුළට හැන්දක් දැමුවොත් එහි ඡායාවත් ඔබට වෙනමම පෙනෙයි.
මෙලෙසින් එක්ස් රේ යන්ත්‍රයක් ඉදිරියේ ඔබේ අත ඇල්ලුවහොත් එවිට ද අතේ ඡායාව වෙනමත්, අත අභ්‍යන්තරයේ ඇති මස් වල ඡායාව අළුපාටිනුත්, ඊටත් ඇතුලෙන් ඇති ශක්තිමත් ඇටවල ඡායාව සුදු පැහැයෙනුත් දිස්වනු ඇත. මේ අනුව එම අතේ කැඩී බිඳී යාම් ඇත්නම් ඒවාත්, මස්වල වෙනස් වීම් සිදුවී තිබේ නම් ඒවාත් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

පපුවේ එක්ස් රේ එකක් ගත් විට පපුව මැද පිහිටි හෘදය වස්තුවේ ඡායාව සුදු පාටින් මල්ලක් ලෙස දැක ගන්නට ලැබෙනු ඇත. ඒ දෙපසින් වාතය පිරුණු පෙනහලු කළු පැහැයෙන් දිස්වන අතර ශක්තිමත් ඉල ඇට කූඩුව සුදු පාටින් දැකගත හැකි වේ. පෙනහලු තුළ මස් වැදැල්ලක් ඇත්නම් එය අළු පාටින් වෙනමම දිස්වෙයි. වතුර එකතු වී ඇත්නම් ඒවා සුදු පාටින් වෙනම පෙනෙයි. එසේම පෙනහලුවල ක්ෂය රෝගය, පෙනහලුවල නිව්මෝනියාව යන මේවාත් එක්ස් රේ ඡායාරූප මගින් හඳුනා ගැනීමට පුළුවන. පෙනහලුවල පිළිකා ද මෙමගින් හඳුනා ගත හැකිය. නමුත් අවාසනාවට පෙනහලු පිළිකා එක්ස් රේ මගින් හඳුනා ගත හැකිවන්නේ පිළිකාව වර්ධනය වූ පසුව ය.
ආහාර මාර්ගය එක්ස්රේ මගින් බැලීමට අවශ්‍ය නම් එක්තරා ඖෂධ වර්ගයක් මුඛ මාර්ගයෙන් හෝ අධෝ මාර්ගයෙන් ඇතුල් කිරීමට සිදුවේ. බඩවැල් ආශ්‍රිත රෝග පවා එක්ස්රේ මගින් බලා ගැනීමට අවශ්‍ය නම් මේ ඖෂධ වර්ග ලබාදිය යුතුය. එම ඖෂධය ආහාර මාර්ගය දිගේ ගෑවෙමින් ඉදිරියට ගමන් කරයි. එවිට ආහාර මාර්ගය එක්ස් රේ මගින් බලා ගැනීමට පුළුවන. මේ ආකාරයට ඕනෑම නහරයක් දැක බලා ගැනීමට හැකියාව තිබේ.
හෘදය වස්තුවේ ධමනි දැක බලා ගන්නේත් මේ ක්‍රමයෙන්ම ය. එය කොරොනරි ඇන්ජියෝග්‍රෑම් (coronary angeogram ) නම් වෙයි.
එසේම ඉල ඇට කැඩීම, හෘදය වස්තුව විශාල වීම, මුත්‍රාශයේ ගල්, පිත්තාශයේ ගල්, අග්න්‍යාශය ගල්වීම වැනි දේවල් ද එක්ස් රේ මගින් හඳුනා ගත හැකිය. ඊට අමතරව අත්පාවල, සන්ධිවල අසනීප, කොඳු ඇට පෙළෙහි අසනීප, හිසේ කෝඨර ප්‍රදාහය ( sinusitis ) එක්ස් රේ මගින් හඳුනා ගත හැකි තවත් රෝගාබාධයි.
මේ හැරුණු විට උගුරේ ඇනුණු දේවල්, ගිල දමන ලද රත්රන් වැනි ලෝහද එක්ස් රේ මගින් හඳුනා ගන්නට පුළුවන.

එක්ස් රේ ගැනීම වෛද්‍යවරයකු විසින් සිදුකරනු ලබන්නක් නොවේ. එය කරන්නේ එක්ස් රේ කාර්මික ශිල්පියකු විසිනි. මෙහිදී රෝගියා යම් විකිරණ ප්‍රමාණයකට හසුවන අතර එක්ස් රේවලට භාජනය වන රෝගියා අසල වෙනත් කෙනෙකුට රැඳෙන්නට ඉඩ දෙන්නේ නැත. ගැබිනි කාන්තාවන් මෙන්ම ගැබ් ගෙන ඇති බවට සැක කරන කාන්තාවන්ද එක්ස් රේ පරීක්ෂණවලට භාජනය නොවිය යුතුය. එයට හේතුව කළලයට එම කිරණ මගින් හානි සිදුවිය හැකි නිසාය.

දත්වල රෝග ද එක්ස්රේ මගින් හඳුනා ගත හැකි රෝග අතර වේ.
එක්ස් රේ ගැනීම වෛද්‍යවරයකු විසින් සිදුකරනු ලබන්නක් නොවේ. එය කරන්නේ එක්ස් රේ කාර්මික ශිල්පියකු විසිනි. මෙහිදී රෝගියා යම් විකිරණ ප්‍රමාණයකට හසුවන අතර එක්ස් රේවලට භාජනය වන රෝගියා අසල වෙනත් කෙනෙකුට රැඳෙන්නට ඉඩ දෙන්නේ නැත. ගැබිනි කාන්තාවන් මෙන්ම ගැබ් ගෙන ඇති බවට සැක කරන කාන්තාවන්ද එක්ස් රේ පරීක්ෂණවලට භාජනය නොවිය යුතුය. එයට හේතුව කළලයට එම කිරණ මගින් හානි සිදුවිය හැකි නිසාය.
එක්ස් රේ පරීක්ෂණයට මුහුණ දෙන රෝගියාට කිසිවක් දැනෙන්නේවත් පෙනෙන්නේවත් නැත. එහිදී එක්ස් රේ ගැනීමට අවශ්‍ය ස්ථානය අනුව රෝගියාට ඊට සරිලන ඉරියව්වක හිඳින්නට උපදෙස් ලැබේ. ඔබ සිටගෙන සිටින්නේ නම් අත් දෙක දෙපැත්තට තබාගෙන සිටිය යුතුය. හුස්ම ඉහළට ගත් පසු එය ඉහළට අල්ලාගෙන සිටිය යුතු අතර ඒ මොහොතේ ක්ෂණයකින් එක්ස්රේ ඡායාරූපය ගැනීම සිදුවේ.
එක්ස් රේ ගැනීමෙන් පසු ඔබ අතට ලැබෙන එක්ස්රේ පටලය එනම් එක්ස් රේ ඡායාරූපය එම කවරය සමග නවන්නේ නැතිව රෝල් කර තබා ගත යුතුය.
එක්ස් රේ ඡායාරූපයක සඳහන් දෑ හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව තිබුණත්, ඒ සඳහා විශේෂිත පුහුණුවක් ලැබූ විකිරණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට එය යොමු කෙරේ. එම වෛද්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන අතර එය ඔබේ රෝගයට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්ට යොමු කිරීම සුදුසුය.
එක්ස් රේ වාර්තාවෙහි කිසිදු දෝෂයක් නැතත් එය ප්‍රවේශම් කර තබාගත යුතුය. මතු දිනයක වෙනත් එක්ස් රේ පරීක්ෂණයක් ගන්නට සිදු වුවහොත් එය හා සංසන්දනය කර බැලීම සඳහා ඔබේ එක්ස් රේ වාර්තා එලෙස ළඟ තබා ගැනීම වැදගත් ය.

හිස්කබල තුළ පවතින මොළය එක්ස් රේ ඡායාරූපයකට හසු වන්නේ නැත . එසේ නම් මොළය දැක ගන්නේ කෙසේද?
ඒ සඳහා යොදා ගනු ලබන්නේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ යි. සී.ටී. ස්කෑන් යනු එක්ස් රේ විශාල ප්‍රමාණයකින් පරිගණකය විසින් සිදු කරන නිර්මාණයක් වේ.

එක්ස් රේ ගැන කතා කරන විට ශරීරයේ අනෙකුත් කොටස් ගැන කතා කළත් අප මේ මොහොතේ මොළය ගැන කතා කළේ නැත. ඒ ඇයි? දැන් ඒ ගැන කතා කරමු.
හිසේ එක්ස් රේ ඡායාරූපයක් ගත්විට අපට පෙනෙන්නේ මොළය ආවරණය වී පවතින ශක්තිමත් වූ හිස්කබල ය. එය එක්ස් රේ ඡායාරූපයක සුදු පැහැයෙන් දැකගත හැකිය. ඒ මිස හිස්කබල තුළ පවතින මොළය එක්ස් රේ ඡායාරූපයකට හසු වන්නේ නැත . එසේ නම් මොළය දැක ගන්නේ කෙසේද?
ඒ සඳහා යොදා ගනු ලබන්නේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ යි. සී.ටී. ස්කෑන් යනු එක්ස් රේ විශාල ප්‍රමාණයකින් පරිගණකය විසින් සිදු කරන නිර්මාණයක් වේ. යම් දෙයක් හොඳින් දැක බලා ගැනීමට අපි ඒ දෙස හැම පැත්තෙන්ම බලන්නෙමු. මෙයද එවැන්නකි.

ශරීරයේ අවශ්‍ය කොටස සී.ටී. ස්කෑන් යන්ත්‍රය තුළට ඇතුල් කළ පසු එම කොටස වටා සී.ටී. ඇස වළල්ලක් ලෙස ගමන් කිරීම සිදුවේ. වළල්ලේ මුළු රවුම මගින්ම මේ ආකාරයට ඡායාරූප ලබාගන්නා අතර ඉන්පසු පරිගණකය මගින් ශරීරයේ එම කොටසේ අභ්‍යන්තරය නිර්මාණය කර දෙයි. වට්ටක්කා ගෙඩියේ හරස් අතට පෙති කැපුවොත් එහි මුල්ම රවුම කුඩාය. ඊළඟට ක්‍රමක්‍රමයෙන් රවුම් ලොකු වී හරි මැදට එන විට ලොකුම රවුම ලැබේ. ඉන් පසු නැවත ක්‍රමයෙන් කුඩා වී ගොස් අවසන් රවුම ඉතා කුඩා වෙයි. සී.ටී. ස්කෑන් මගින්ද එවැනි පෙති විශාල ප්‍රමාණයක් පෙන්වයි. මෙසේ මොළය පපුව බඩ යන අවයවල රෝග සී.ටී.ස්කෑන් මගින් හඳුනාගත හැකිය. දැන් ඔබට එක්ස් රේ පර්යේෂණය යනු කුමක්ද යන්න මනාව පැහැදිලි වී ඇතැයි සිතමු.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය