භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයෙන් ටිල්වින් ඇතුළු ජවිපෙ කණ්ඩායමක් අද ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත ජවිපෙ නියෝජිත පිරිසක් අද (27) ඉන්දියාව බලා පිටත්වීමට නියමිතය. මෙම සංචාරය ඔක්තෝබර් 1 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එය භාරතීය ජනතා පක්ෂයේ (BJP) විදේශ කටයුතු අංශයේ ආරාධනයක් අනුව සිදුවන බව එම පක්ෂය ප්‍රකාශ කර තිබේ.මෙම සංචාරයේදී ජවිපෙ නියෝජිත පිරිස BJP ජාතික සභාපති නිතින් නබින්, ජාතික මහලේකම් (සංවිධාන) බී. එල්. සන්තෝෂ් ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ දිල්ලි මහ ඇමැතිනි රේඛා ගුප්තා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව BJP විදේශ කටයුතු අංශය සඳහන් කර ඇත. මීට අමතරව ඉන්දීය පාර්ලිමේන්තුව සහ දිල්ලි BJP කාර්යාලය නැරඹීමටත්, BJP පක්ෂයේ විවිධ සංවිධාන හා අංශ සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් මෙම සංචාරයේදී අවස්ථාව සැලසෙන බව වාර්තා වේ. BJP විදේශ කටයුතු අංශය පවසන්නේ සංචාරයේ ප්‍රධාන අරමුණු වන්නේ BJP සහ ජවිපෙ අතර සබඳතා ශක්තිමත් කිරීම, පක්ෂ සංවිධාන අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ දෙපාර්ශ්වය අතර දේශපාලන සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම බවයි. ටිල්වින් සිල්වා මහතා සමඟ ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික චන්ද්‍රිකා අධිකාරි, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා, දිස්ත්‍රික් කමිටු සාමාජික කබිලන් සුන්දරමූර්ති සහ ජාත්‍යන්තර අංශයේ සාමාජිකා කල්පනා මධුභාෂිනී යන මහත්ම මහත්මීහු සංචාරයට එක් වෙති.ටිල්වින් සිල්වා මහතාගේ මෙම සංචාරය මේ වසරේ ඔහු ඉන්දියාවට යන දෙවැනි සංචාරය වීම ද විශේෂත්වයකි. ඉන්දීය සංස්කෘතික සබඳතා මණ්ඩලයේ (ICCR) Distinguished Visitors Programme යටතේ ඔහු පසුගිය පෙබරවාරි 5 සිට 12 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ජයිශංකර් මහතා ඇතුළු ඉන්දීය නිලධාරීන් හමුවිය. එම සංචාරයේදී නවදිල්ලියට අමතරව ගුජරාට් සහ තිරුවනන්තපුරම් යන ප්‍රදේශවල ද සංචාරය කර තිබේ.එමෙන්ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා 2024 පෙබරවාරි මාසයේදී ICCR ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා හමුවී තිබිණි. ජවිපෙ සහ ඉන්දියාව අතර සබඳතා පසුගිය දශක කිහිපය තුළ සැලකිය යුතු වෙනසකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය විශ්ලේෂණවල ද සඳහන් වී තිබේ.

කාලීන පුවත්