ඉන්දියාව ලංකාවට කපන පාර ගැන කතා බහකට සාගල ඉන්දියාවට

නොයෙක් වර අප සමාජයේ දැඩි අවධානයට හා ආන්දෝලනයට ලක් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම මස 27 සහ 28 දෙදින ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ එළැඹුණු එකඟතා අනුව මෙම මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව මෙහි දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ.ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදි කිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර එහි පළමු මාර්ගය තලෙයිමන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදි කෙරෙයි.අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇත. ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දුර කිලෝමීටර් 23ක් වන අතර මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම ඉන්දීය ආයෝජනයකි.

කාලීන පුවත්