ඔබත් විද්‍යුත් යක්ෂයාගේ වහලෙක් ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

vinivida

අතීතයේ ඉඳලම අපේ රටෙත් යක්කු හිටියලුනෙ . රීරි යකා, ගරා යකා, සූනියම් යකා, මහ සෝනා, කළු කුමාරයා , වෙසමුනියා, යනාදී වශයෙන්… අහල ඇතිනෙ නේද?
යක්ෂයා හොඳ එකෙක් නෙමෙයි නේ. අපිව විනාශ කරන්න ආපු අදෘශ්‍යමාන බලවේගයක් . ඒත් ඉතිං අපේ ගම්වල ගමරාළලා එහෙම යක්කුන්ගෙන් වැඩ ගත්තු බව පුංචි කාලේ කතන්දර පොත් වලින් අපි කියවලා තියෙනවා නේද?
වර්තමානත් ඒ වගේ යක්කු ජාතියක් ඉන්නවා.
හැබැයි මේ යක්කු අදෘශ්‍යමාන නෑ. අපිව අමාරුවේ දාන්නේ එළිපිටම .
මේ යක්කු කළු පාටත් නෑ භයානක පෙනුමකුත් නෑ.. පාට පාට ,සමහරවිට ලස්සන පෙනුමක් එහෙම තියෙනවා.
හැබැයි අපි බුද්ධිමත් නම් , අර ගමරාළලා යක්කුන්ගෙන් වැඩ ගත්තා වගේ, අපිට පුදුමාකාර වැඩ තොගයක් මේ යක්කු ලවා කරගන්න පුළුවන්.
ඒත් කරුමෙකට වගේ වැඩ ගන්නවාට වඩා අපි යක්කුන්ට වාල්වෙලා පුද පූජා පවත්වන බවක් තමයි පේන්න තියෙන්නේ.
වර්තමානයේ දී ඒ යක්කු ‘මොඩ්’වෙලා අපේ සාක්කුවටම රිංගල, අපේ අත් දෙකට අපේ ඇඟිලි තුඩුවලට අපි කරන කියන හැමදේටම ආවේශ වෙලා වගේ තමයි වැඩ කරන්නේ. කවුද මේ යක්කු ?
මේ තමයි ‘ ඉලෙක්ට්‍රොනික් ‘ යක්කු!
කියන්නද කීප දෙනෙක්ගෙ නම්?
ඔන්න අහගන්න..
අතබනු යකා හෙවත් හෑන්ඩ් ෆෝන් යකා , ස්මාට් ෆෝන් යකා , ෆේස්බුක් යකා , වට්ස්ඇප් යකා , අයිපෑඩ් යකා , මැසේන්ජ‍ර් යකා යනාදි ඩිජිටල් යක්කු රෑනක් අද කිඹුල්ලු ගොදුරු ගිලිනවා වගේ සමාජය ගිලගනිමින් ඉන්නවා.
සමහරුන්ගේ ජීවිත දැනටමත් විනාශ කරලා ඉවරයි.
මේවා විද්‍යුත් උපකරණ වලට වඩා විද්‍යුත් උපද්‍රව කියල හඳුන්වන්නත් පුළුවන්. ප්‍රවේසමෙන් බුද්ධිමත්ව පාවිච්චි නොකළොත් ප්‍රතිඵල අන්තිම දරුණු වෙන්න පුළුවන්.

ලොකුම විනාසෙ තමයි මේ අබ්බැහිවීම කියන එක.
ඕනෙම දේකට ඇබ්බැහි වෙනවා කියන්නේ ඒ දේ විසින් තමන්ව යටත් කරගෙන පාලනය කරනවා කියන එකයි . තමන්ට තමන්ව පාලනය කර ගැනීමට හැකියාවක් නැති බවයි.
අපි කවුරුත් කැමති නෑ වහල්ලු වෙන්න. ඒත් අද මිනිස්සු පුදුමාකාර විදිහට මේ විද්‍යුත් උපකරණ වලට වහල් වෙලා අතරමං වෙලා නන්නත්තාර වෙලා තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තරමට පත්වෙලා.

බලන්න අද බස් එකේ කොච්චියේ යනකොට විතරක් නෙමෙයි ඇවිදිනකොටත් කීදෙනෙක් ‘ස්මාර්ට් ෆෝන්’ එක හුරතල් කර කර ඒකට කොටකොට මැසේජ් කර කර ද යන්නේ කියලා. පාරේ වාහන ගැනවත් නිනව්වක් නෑ .කහ ඉරි පනින්නෙත් ෆෝන් එක කනේ ගහගෙනෙන.මෑතකදීම එහෙම කෙනෙක් කෝච්චියටත් හැපිලා මැරුන. කොහොමද ඇබ්බැහි වීමේ තරම?
සමහරුන්ට උදේ නැගිට්ට ගමන් කෙලින්ම අත යන්නේ ෆෝන් එකට. කහල ගොඩක් අවුස්සනවා වගේ පාන්දරම බලනවා ඇවිල්ල තියෙන පණිවිඩ මොනවද කියලා. එක එක කැටයම් දාලා good morning කියලා එවනවා. වැඩිහරියක් එන්නේ කිසීම වැදගැම්මකට නැති විකාර පුහු දේවල්. ඊට පස්සේ ඒවා වටේටම අරින්න පටන් ගන්නව. එතනින් පටන් ගත්තම කෝච්චියේ බස් එකෙත් වැඩ කරන වෙලාවෙදිත් මුළු දවස තිස්සෙම ඕක පහුරු ගාන එක තමයි වැඩේ. මේ පුරුද්ද හින්දා කරන කිසි වැඩකට සම්පූර්ණ අවධානය යොමු කරන්න බැහැ.සැරෙන් සැරේ මේ පරික්ෂාකාර පතුරට අත හිත යනවා.
තත්පරෙන් තත්පරේ විනාඩියෙන් විනාඩිය එකතු කරල බැලුවොත් දවසකට මේ විදිහට නාස්ති කරන කාලේ පැය කීයක්ද!
මේ විදිහට කාලෙ නාස්ති කරන එක ඇත්තටම මහා කරුමයක් පාපයක් අපරාධයක් වගේම අන්තිම මෝඩකමක් .වෙන මොනවා හම්බ කෙරුවත් අතීතයට ගතවෙලා යන එක තත්පරයක්වත් අපිට ආපහු ගන්න බෑ.
මෝඩයෝ මිසක් ප්‍රඥාවන්තයෝ එක තත්පරයක්වත් කිසි තේරුමක් නැති වල් පල් වලට නාස්ති කරන්නෙ නෑ.
මහ මිනිස්සු විතරක් නෙවෙයි මොන්ටිසෝරි යන දරුවන් පවා වහල් වෙලා .
උදේ නැගිටපු ගමන් ළමයින්ගේ අතට දෙන්නේ මොබයිල් දුරකථනය නැත්නම් අයිපෑඩ් එක . බොහෝ වෙලාවට දෙමව්පියෝ තමයි ළමයින්ව මේ විදිහට ඇබ්බැහිවීමට පුරුදු කරන්නේ.
බල්ලන්ට මස් කටුවක් දීලා මෙල්ල කරනවා වගේ දරුවන්ට මොනවා හරි විකාරයක් තියෙන ජංගම දුරකථනයක් නැත්තං අයිපෑඩ් එකක් අතට දීල, දෙමව්පියෝ ඒගොල්ලන්ගේ වැඩ කරගන්නව. කිසිම හරයක් නැති දහ ජරාවල් බලන්න දරුවෝ ඇබ්බැහි වෙන්නෙ මේ විදිහට.
කෑම කන්නෙත් ඒක බල බල.ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නෙත් ඒක බල බල මිසක් මූණ බලාගෙන නෙමේ. මේ විදිහට හැදෙන ළමයි මානසික වහලුන් වෙනවා මිසක් වගකීමක් ඇතුව ජීවත්වෙන පුරවැසියෝ වෙයිද? නෑ!
මේකට දෙමව්පියොත් වගකියන්න ඕන.
අද ‘ස්මාර්ට් ෆෝන්’ එකක් අතේ නැති කෙනෙක් නැති තරම්. කතා කරන්න විතරක් අවශ්‍ය නම් පුංචි ටෙලිෆෝන් එකක් උනත් මදෑ. සමහර දුරකථන මිල අධික ඒවා. සමහරු ඒවල උපාංග ගැන දන්නෙත් නෑ.
. සමහරු ස්මාට් ෆෝන් එකක් අතේ කියාගෙන යන්නේ ‘ සෝබනේ’ට. ඒක පාවිච්චි කරන්නේ ආභරණයක් විදියට. වටේටම පෙන්නගන්නයි ඕනේ. කතා කරන්න නෙමෙයි.
‘ මමත් වටිනා කෙනෙක්.. මටත් බොහෝ දෙනෙක් කතා කරනවා පණිවිඩ එවනවා.. මමත් හොඳ නිලයක් දරන කෙනෙක්…’ වගේ අදහසක් පිළිබිඹු කරන විදිහට තමයි ‘ස්මාර්ට් ෆෝන්’ සමහරු පාවිච්චි කරන්නෙ.
පව් ඉතින්! හිතේ අඩුවක් පුරවා ගන්න හදන මානසික හිඟන්නෝ කියලා තමයි එයාලව හඳුන්වන්න වෙන්නෙ.
ඇයි මෙහෙම රිනාත්මක විදිහටම කතා කරන්නේ… ‘ස්මාර්ට් ෆෝන්’ එකක් කියන්නේ කොච්චර වටින දෙයක්ද… ඇයි ඒකෙ ප්‍රයෝජනවත් පැත්ත ගැන කතා නොකරන්නෙ කියලා ඔබ අහයි.
ඇත්ත. විද්‍යුත් උපකරණ වල විතරක් නෙමේ ඕනම භාණ්ඩයක හොඳ ප්‍රයෝජන තියෙනව. ඒවා හදන්නේ හොඳ ප්‍රයෝජන ගන්න තමයි.
වාහන නිපදවන්නේ ඉක්මනින් පහසුවට ගමන් යන්නනෙ. ඒත් මිනිසුන්ව හප්පන්නත් ඒකට පුළුවන්. පිහියක් හදන්නෙත් අපිට අවශ්‍ය දේවල් කපාගන්න. ඒත් ඒකෙන් දරුණු අනතුරු කරන්නත් පුළුවන්.
‘ස්මාර්ට් ෆෝන්’ එකත් ඒ වගේ තමයි. පාවිච්චි කිරීම හොඳයි. ප්‍රයෝජනයි.
අපිට දුරින් ඉන්න අයට , රට ඉන්න අයට පවා මුහුණ බලාගෙන කතා කරන්න පුළුවන්. ඡායාරූප පින්තුරු ක්ෂණයකින් අරින්න පුළුවන්. ඉතා අඩු මිලකට දීර්ඝ වෙලාවක් කතා කරන්න පුළුවන්. නොයෙකුත් තොරතුරු ගබඩා කරලා තියාගන්න පුළුවන් ,ගමනක් යනකොට මාර්ග සිතියම් ලබා ගන්න පුළුවන්…මේ වගේ බොහෝ ප්‍රයෝජනවත් දේ අපට කරගන්න පුළුවන් බව ඇත්ත.

ඒත් ඒක මත්තෙම මැරීගෙන කුණු ගොඩවල් ඒක හරහා එහා මෙහා යවාගෙන ,ජීවිතයේ කළ යුතු දේවල් කර ගැනීමට තියන කාලය නිකරුණේ විනාශ කරගෙන දන්නෙම නැතුව ඇබ්බැහි වෙච්ච කාලකන්නි තත්ත්වයට පත්වීම මොනතරම් අවාසනාවන්ත ද?
ඔබේ නිදහස, ඔබේ කාලය, ඔබේ තීරණ ගැනීමේ ශක්තිය , නිවහල් පෞරුෂය ප්ලාස්ටික් පතුරකට උගස් කරන්න ඕනද?
හොඳට හිතල බලන්න ඔබේ ස්මාට් ෆෝන් එක ඔබව පාලනය කරනවාද එහෙම නැත්නම් ඔබ ඔබේ ස්මාට් ෆෝන් එක පාලනය කරනවද කියලා.
වැඩක් නැති කම්මැලි මෝඩයන් කරන්නන් වාලේ ඔබත් සීමාව ඉක්මවා ඔය විද්‍යුත් උපකරණ මත්තෙ මැරෙන්න යන්න එපා. දවස තිස්සෙම ඕක බදාගෙන ඉන්න එපා . ප්‍රයෝජන දායක වැඩ වලට කාලය වෙන් කරගෙන ඉතුරු කරගන්න
අතීතයේ යක්කුන්ගෙන් ගමරාළලා වැඩ ගත්තලුනේ.ඔබත් විද්‍යුත් යක්කුන්ගෙන් වැඩ ගන්න.
ඔබ වහල් වෙලා , යක්කුන්ට ඔබව පාලනය කරන්න දෙන්න එපා. ඔබේ රත්තරන් වටිනා කාලය තත්පරයක්වත් නිකරුනේ විද්‍යුත් යක්කු නිසා විනාශ කර ගන්න එපා .
අතීතයේ යක්කුන්ගෙන් ගමරාළලා වැඩ ගත්තලුනේ.ඔබත් විද්‍යුත් යක්කුන්ගෙන් වැඩ ගන්න.
හැබැයි ඔබ වහල් වෙලා , යක්කුන්ට ඔබව පාලනය කරන්න දෙන්න එපා.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

පහන් ටැඹ