ඔස්කාර් උලෙළේ හොඳම චිත්‍රපටය වූ “ඔපන්හයිමර්’ ගැන තොරතුරු බිඳක්

ලොව පළමු පරමාණු බෝම්බය හැදීමේ කතාව;

ලොව ජනප්‍රියම සිනමා සම්මාන උළෙලක් වන ඔස්කාර් සම්මාන උළෙල පසුගිය දා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහි ඉහළම සම්මානය වන හොඳම චිත්‍රපටය සම්මානය දිනාගත්තේ පසුගිය කාලයේ බෙහෙවින් කතාබහට ලක් වූත්, අගැයුමට ලක් වූත් සිනමාපටයක් වන ‘ඔපන්හයිමර්’ (Oppenheimer) චිත්‍රපටය යි. එය අධ්‍යක්‍ෂණය කරන ලද්දේ විශිෂ්ට සිනමාකරුවකු ලෙස නමක් දිනා සිටින ක්‍රිස්ටෝෆර් නෝලන් ය. මේ මෙම අපූරු සිනමාපටය පිලිබඳ සටහනකි.

මෙවර උළෙලේ දී වැඩිම සම්මාන ගණනක් සඳහා නිර්දේශ වූයේත්, වැඩිම සම්මාන ගණනක් දිනාගත්තේත් මෙම සිනමාපටය යි. එය සම්මාන 13 ක් සඳහා නිර්දේශ වූ අතර ඉන් සම්මාන 7 ක්ම දිනාගන්නට සමත් විය. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්‍ෂ, හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම සංගීතය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය යන ප්‍රධාන සම්මාන හතක් හිමි කරගන්නට එය සමත් වූයේය. ඔස්කාර් සම්මාන උළෙලේ දී පමණක් නොව ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා (BAFTA) වැනි ප්‍රධාන පෙලේ සම්මාන උළෙලවලදී ද ‘ඔපන්හයිමර්’ සම්මාන පිට සම්මාන දිනාගත්තේය.

මෙම සිනමාපටය ප්‍රදර්ශණය වීමටත් කලින්, එය රූපගත කෙරෙමින් තිබූ කාලයේ සිටම ඒ ගැන බොහෝ දෙනාගේ අවධානය සහ කුතුහලය යොමු විය. එයට හේතු වූයේ මෙය මෑත ඉතිහාසයේ විසූ සුවිශේෂීම පුද්ගලයකු ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ සිනමාපටයක් වීම යි. ‘ඔපන්හයිමර්’ නිර්මාණය වී ඇත්තේ රොබට් ඔපන්හයිමර් නැමැති ඇමරිකානු විද්‍යාඥයාගේ ජීවිතයට සම්බන්ධ සිදුවීම් ඇසුරෙනි. රොබට් ඔපන්හයිමර් යනු ලොව පළමු පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥයා යි. දෙවැනි ලෝක යුද්ධය සමයේ ඇමරිකාව ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට හෙලුවේ ද මෙම බෝම්බ බව රහසක් නොවේ.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටයෙන් කියැවෙන්නේ පරමාණු බෝම්බය නිර්මාණය කිරීම ගැන කතාව පමණක් නොවේ. එම කාලය තුළ ඔපන්හයිමර් ගේ හෘදය සාක්‍ෂිය, ඔහුගේ මිනිස් සබඳතා ආදිය තුළ සිදුවන සංකීර්ණ හැලහැප්පීම් ද මේ තුළින් අපූරුවට නිරූපනය වේ. එමෙන්ම එම යුගයේ ඇමරිකානු දේශපාලනයට අදාළ ඇතැම් කාරණා ගැන ද එය ඉතා ව්‍යක්ත ලෙස සාකච්ඡා කරයි. මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කළ නෝලන් අද බටහිර සිනමාවේ ඉදිරියෙන්ම සිටින අධ්‍යක්‍ෂවරයකු ලෙස සැලකේ.

‘ඔපන්හයිමර්’ නිර්මාණය වූයේ American Prometheus නැමැති ග්‍රන්ථය ආශ්‍රයෙනි. එය රචනා කළේ කායි බර්ඩ් සහ මාටින් ජේ. ෂර්වින් යන ලේඛකයන් දෙදෙනා ය. නමුත් චිත්‍රපටයේ කටයුතු අවසන් වනතෙක් ජීවත් වීමට ෂර්වින්ට වාසනාව ලැබුණේ නැත.

මෙම ග්‍රන්ථය ඇසුරෙන් සිනමාපටය නිර්මාණය කිරීම සඳහා මූලික සාකච්ඡා පැවැත්වුණු කාලයේ ඔහු ජීවත්ව සිටියත් එම සාකච්ඡාවලට ද ඔහුට සහභාගි වීමට නොලැබිණි. මන්ද යත් ඒ වනවිට ඔහු පෙනහළු පිළිකාවකින් දැඩි ලෙස ගිලන්ව සිටි බැවිනි. මේ නිසා ක්‍රිස්ටෝෆර් නෝලන් සමග එම සාකච්ඡාවලට සහභාගි වී තිබුණේ බර්ඩ් පමණි. චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවෙමින් තිබූ කාලයේ ෂර්වින් මිය ගියේය.

මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන සිලියන් මර්ෆිගේ රංගනය ද විශාල වශයෙන් අගැයුමට ලක් වූ බව රහසක් නොවේ. මේ වසරේ සම්මාන උළෙල රැසක දී හොඳම නළුවා සම්මානය ඔහුට හිමි කර දීමට එම රංගනයට හැකි විය. සිලියන් මර්ෆිගේ පෙනුම රොබට් ඔපන්හයිමර් ගේ පෙනුමට යම් සමානත්වයක් දැක්වීම ඔහු මෙම චරිතය සඳහා තෝරා ගැනීමට එක් හේතුවක් වී තිබිණි.

චිත්‍රපටය රූගත කරනු බලන්නට පැමිණි කායි බර්ඩ් ද මෙම සමානත්වය නිසා විස්මයට පත් වූ බවක් සඳහන් වේ. ඔහු එම අවස්ථාවේ සිලියන්ට මෙවැන්නක් කියා තිබිණි. “ඩොක්ටර් ඔපන්හයිමර්, මම ඔබව මුණ ගැහෙන්න දශක ගණනක් බලා හිටියා”. ඊට සිනාවකින් පිලිතුරු දුන් සිලියන් “අපිත් ඔබේ පොත කියවා තිබෙනවා. ඒක මෙහි සිටින හැමෝටම අනිවාර්යයෙන්ම කියවන්නට සිදු වී ඇති පොතක්” යයි පිලිතුරු දුන් බව සඳහන් ය.

මෙවර හොඳම නළුවා ලෙස සම්මානය දිනාගනිමින් සිලියන් මර්ෆි ඉතිහාස ගත විය. ඒ හොඳම නළුවා ලෙස ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු අයර්ලන්ත ජාතිකයා වෙමිනි. ඔහු තවමත් ජීවත් වන්නේ අයර්ලන්තයේ යි.

ඇල්බට් අයින්ස්ටයින් ගේ චරිතය ද මෙම සිනමාපටයට ඇතුළත් වේ. එම චරිතය නිරූපනය කරන්නේ ටොම් කොන්ටි නැමැති නළුවා යි. ඔහු පෙනී සිටින ජවනිකා කිහිපයක් ප්‍රින්ස්ටන් නගරයේ රූපගත කර තිබිණි. තමා ඇල්බට් අයින්ස්ටයින් ගේ වේෂයෙන් පාරවල ඇවිදිද්දී අවට සිටියවුන් තමා දෙස බැලූ ආකාරය තමා තුළ සිනා ඉපිද වූ බවක් වරක් ඔහු සඳහන් කළේය.

ඉතා කලාත්මක සිනමාපටයක් වුවත් ඉහළම මට්ටමින් ආදායම් උපයන්නට ද ‘ඔපන්හයිමර්’ ට හැකි විය. ලොව පුරා ප්‍රදර්ශණයෙන් එය ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් (ඇ. ඩොලර් මිලියන 960 ක්) උපයා තිබේ. 2023 වසරේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට ලැයිස්තුවේ තුන්වැනි තැන සිටින්නේ ‘ඔපන්හයිමර්’ චිත්‍රපටය යි. දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ඉපැයූ සිනමාපටය ලෙස ද එය වාර්තාවක් පිහිටුවා තිබේ. එමෙන්ම චරිත කතාවක් ඇසුරෙන් නිපදවුණු චිත්‍රපට අතරින් වැඩිම ආදායම් ඉපැයූ සිනමාපටය ද එය යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර