ගහක් උඩ පැළක උපන් දින සැමරුමක්

වත්මන් කොවිඩ් වසංගතය හමුවේ සැමරුම් උත්සව, සාද පැවැත්වීම සම්බන්ධ නීති, රීති, තහංචි පමුණුවා ඇති බව අපි දනිමු. ඒ අනුව එම උත්සව සාද පවත්වන හෝටල්, අවන්හල්, උත්සව ශාලා ආදිය ද පාළුවට ගොසිනි.

මෙවන් පසුබිමක් තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශන සහ නිරෝධායන නීති කිසිවක් උල්ලංඝනය නොවන පරිදි එක් සොඳුරු ස්ථානයක පැවැත්වූ නව හැවිරිදි දැරියක ගේ අපූරු උපන් දින සැමරුමක් පිළිබඳව අපට අසන්නට ලැබිණ.

ගල්ගමුවේ සියඹලංගමුව ප්‍රදේශයෙනි. ආරධ්‍යා රත්නායක නම් මෙම දැරිය ගේ නව වන උපන් දින උත්සවය සංවිධානය කොට තිබුණේ හෝටලයක, අවන්හලක, උත්සව ශාලාවක තබා අඩුම ගණනේ ඔවුන් ගේ නිවසේ වත් නොවේ. නිවසට නොදුරින් උස් ගසක් මත තැනූ පැළක ය.


මෙම දැරිය ගේ පියා වෘත්තියෙන් ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ චිත්‍ර කලා ගුරු උපදේශකවරයකු වන රත්නායක ජයලත්ගේ මහතා ය. චිත්‍ර, මූර්ති විවිධ කලා කටයුතු වල යෙදෙන ඔහු මේ දිනවල වඩාත් වැදගත් කටයුත්තකට ද අත ගසා තිබේ. ඒ ගල්ගමුව සෙනරත්ගම වැව ඉස්මත්තේ ඉදිවන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අවිහිංසා ස්මාරකයේ නිර්මාණ කටයුතුවලට ය. රත්නායක මහතා සෞන්දර්ය කලා පශ්චාත් උපාධි ධාරියෙක් ද වෙයි.

’‘මේක මේ කොවිඩ් වසංගතය නිසා ලැබුණු විවේකය නිසි විදිහට ප්‍රයෝජනයට ගැනීමක්. පාරම්පරික වශයෙන්ම අපි හේන්, කුඹුරු ගොවිතැන් කරපු මිනිස්සු. ඒත් අද අපේ පරම්පරාව ඒ සම්ප්‍රදායික වෘත්තියෙන් බැහැර වෙලා වෙනත් වෘත්තීන්ට සම්බන්ධ වෙලා; නමුත් අපිට පුංචි කාලේ පැල් රැකීම පුරුදුයි; ඒකේ තියන දුක් ගැහැට වගේම ආශ්වාදයත් අපි දන්නවා.

නමුත් අපේ ඊළඟ පරම්පරාව ඒ ගැන මුකුත්ම දන්නේ නැහැ. ඒ හින්දා අපේ ඒ පාරම්පරික උරුමය ගැන ඊළඟ පරම්පරාවට කියාදීමේ යුගයේ වගකීම මුල් කරගෙන තමයි මම මේ උපන් දින සැමරුම සංවිධානය කළේ” රත්නායක මහතා කීය.

poddaගල්ගමුවේ සියඹලංගමුව යනු වන අලි පාරාදීසයකි. පසුගිය කාලය තුළ කුරිරු ලෙස ජීවිතක්ෂයට පත් වූ සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා ගේ වාසභූමිය වූයේ ද සියඹලංගමුව වැව අද්දර වන පෙතය. ඊට රත්නායක මහතා ගේ නිවසේ ඊට කිලෝ මීටරයකට වඩා දුරක් නැත. එමෙන්ම ඔහු ගේ නිවස අද්දර ද අලි මංකඩක් තිබීම මත මෙම අලුතින් තැනූ පැළ මත හිඳගෙන වන අලි නිරීක්ෂණය කිරීමට ද පුළුවන.

’‘අනිත් කාරණේ තමයි කොවිඩ් වලින් බේරෙන්න ගෙවල් ඇතුලටම මුළු ගැන්විලා ඉන්න කියනවා මිසක් ගෙවල් ඇතුලේ ගත කරන කාලයෙන් ප්‍රයෝජනවත් වැඩක් කරගැනීම ගැන ජාතික මට්ටමින් උපදේශන වැඩසටහනක් නැති එක.

ඒ වගේම එහෙම ගෙවල් ඇතුලට ගුලි වෙලා ඉන්න කොට ඇති වෙන මානසික ආතතිය පිටු දැකලා ගෙවල් දොරවල් ඇසුරෙන්ම කරන්න පුළුවන් සතුට විනෝදය දනවන ක්‍රියාකාරකම් ගැනත් කල්පනා කරලා තමයි මම මේ උඩ පැළේ අපේ චූටි දුවගේ උපන් දින සැමරුම සංවිධානය කළේ” රත්නායක මහතා කීය.

මෙම සාදය සඳහා රත්නායක මහතා ගේ ආදරණීය බිරිඳ වන නිලූකා චාන්දනී මහත්මිය සහ දෙටු දියණියන් දෙදෙනා වන අමායා සහ මහීෂා පමණක් එක්ව ඇති අතර සාමාන්‍ය උපන් දින සැමරුමකදී මෙන් උපන් දින කේක් කැපීමක් ද සිදු කොට තිබේ.

’‘අපේ බාල දුවට තවම වයස අවුරුදු නවයයි. උපන් දින සැමරුමක වැදගත්ම හා ප්‍රධානම අංගය කේක් එක කැපීම කියන මතයේ තමයි එයාලා ඉන්නේ. අනික රෑ හින්දා කිරි බතක් හදන්න අපි කල්පනා කළෙත් නෑ.

ඒ හින්දා තමයි ගහ උඩ පැළේ දීම උපන් දින කේක් එකකුත් කැපුවේ” රත්නායක මහතා කී අන්දමට ගහක් උඩ තැනූ පැලක් මත උපන් දින සැමරුමක් සංවිධානය කොට උපන් දින කේක් එකක් කැපීම සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිව හොත් “ලෝක වාර්තාවක්ද” වනු ඇත.

’‘කොහොමත් මිනිසා කියන්නේ සොබා දහම කියන සංයුතියේම කොටසක් කියන එක අපේ වැඩිහිටියෝ එක හෙළාම පිළිගත්තු දෙයක්. අළුත් පරම්පරාව ඒ මතයෙන් බැහැර වීම වළක්වන්නත් සොබා දහම එක්ක මිත්‍රශීලී විදිහට සැකසුණු මේ වගේ පාරම්පරික අත්දැකීම් ඒ අයගේ ජීවිතවලට මුසු වීම වැදගත් දෙයක් බවත් මම එකහෙළාම පිළිගන්නවා කී රත්නායක මහතා අවසන් වරට කීයේ ඉන් පසුව ද තම දියණියවරුන් එම උඩ පැළ තම විවේකාගාරයක් සහ පොත පත කියවන ස්ථානයක් ලෙස භාවිතා කරන බවකි.

ඔහුගේ මෙම සරල සුන්දර ආදර්ශය අපගේ ජන සමාජය තුළ තරමක් හෝ ව්‍යාප්ත වන්නේ නම් එය මිනිසා සතා සීපවා ගහ කොළ ඇතුළු සමස්ත සොබාදහමේම යහපැවැත්මට හේතු වන බව නියත ය.

සහන් සංකල්ප සිල්වා

උරුමයක අසිරිය