‘‘ඝාතකයාට අනුකම්පා කරන්න‘‘ කැන්ඩාවේ සය පුද්ගල ඝාතනයේ නිවෙස් හිමිකරු

කැනඩාවේ ඔටාවා අගනුවර බාර්හෙවන් නම් නේවාසික ප්‍රදේශයේ පසුගිය 6 වැනි බදාදා ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් අලුයම 3.52 ට පමණ සිදු වූ ශ්‍රී ලාංකික පවුලේ ඝාතනය මුළු ලොවමත්, ලෝක ජනමාධ්‍ය ජාලයත් කම්පනයට පත් කළ සිදුවීමක් බවට පත්ව තිබේ. කැනේඩියානු ඉතිහාසය තුළ මේ සා දරුණු, ම්ලේච්ඡ මිනිස් ඝාතනයක් මෑත ඉතිහාසය තුළ වාර්තා වී නොමැත. මිලියනයක පමණ ජනගහනයක් ජීවත් වන ඔටාවා අගනුවර තුළ 2023 වසරේ දී සිදුව ඇත්තේ මිනිස් ඝාතන 14 ක් පමණක් වන අතර එයට පෙර වසරේ දී එම ප්‍රමාණය 15 ක් ලෙස වාර්තාගතව තිබේ. නමුත් සමූහ ඝාතන කිසිවක් වාර්තා වී නැත. අනාගත ජීවිතය සුබ සිහින දකිමින් ශ්‍රී ලංකාවෙන් කැනඩාවට මේ පවුල සංක්‍රමණය වී තිබුණේ ඉතාමත් මෑතකදී ය. ඇතැම් මාධ්‍ය එය වසරක් ලෙසත්, ඇතැම් මාධ්‍ය මාස 6 ක් ලෙසත් වාර්තා කොට තිබිණි.

මේ සමූහ ඝාතන සිදුවීමෙන් සිය ජීවිතය ගලවා ගත් පවුලේ ගෘහ මූලික ධනුෂ්ක වික්‍රමසිංහ පවසන්නේ තමා වැඩ නිම වී නිවසට පැමිණෙද්දී මේ ඝාතන සියල්ල සිදු වී තිබුණු බවත් ඉන් පසුව මේ ඝාතනය සිදු කළේ යැයි සැක කරන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා අත තිබූ තියුණු ආයුධය කෙසේ හෝ සිය භාරයට ගෙන පොලිස් හදිසි ඇමතුම් ඒකකට කතා කළ බවත් ය. මේ අතරේ අසල්වාසීන් පවසා තිබුණේ මේ නිවස දෙසින් උදව් ඉල්ලා කෑ ගසනු ඇසුණු බවය. ධනුෂ්ක වික්‍රමසිංහ රියදුරකු ලෙස සේවය කරමින් සිටි බවත්, නිවාස සහ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහසකින් සිට ඇති බවත් වාර්තා වේ.

මේ ඝාතනයෙන් ධනුෂ්කගේ බිරිඳ වූ දර්ශනී ඩිලන්තිකා ඒකනායක, ඔහුගේ දරුවන් වූ සත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ, තුන් හැවිරිදි රනායා වික්‍රමසිංහ සහ ඔවුන් කැනඩාවට සංක්‍රමණය පසු උපන් මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ යන දරුවන් ඔහුට අහිමි විය. ධනුෂ්කගේ පවුලේ පිරිසට අමතර ඔවුන් සමග නිවසේ රැඳී සිටි 40 හැවිරිදි, අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් නමැති පුද්ගලයා ද මෙහි දී ඝාතනය වී තිබිණි. මේ ඝාතනය කළේ යැයි නිවසේ සිටියදීම සැක පිට අත්අඩංගුවට ගෙන ඇති, ෆෙබ්රියෝ ද සොයිසා නමැති 19 හැවිරිදි තරුණයා එරට විශ්ව විද්‍යාලයක් වූ ඇල්ගොන්ක්වින් හි ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඒ බව එම විද්‍යාලයේ සභාපති ක්ලෝඩ් බෲල් තහවුරු කරයි. මේ සිසුවා සිය අධ්‍යයන කටයුතු සඳහා අවසන් වරට සහභාගී වී ඇත්තේ 2023 වසරේ සීත ඍතුවේ දී බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මේ නේවාසික ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක් වූ හිල්ඩා ජයවර්ධනාරාමයේ විහාරාධිපති සුනීත හිමියන් පවසන්නේ මේ පවුලේ පිරිස ඉතාමත් දැහැමි දිවි පෙවෙතක් ගත කරමින් සිට ඇති බවත්, පිහිටක් අවශ්‍ය වූ ඕනෑම කෙනෙකුට උදව් කරන්නට ඕනෑම විටෙක සූදානමින් සිටි පිරිසක් බවත්ය. තමා ධනුෂ්ක වික්‍රමසිංහගේ සුව දුක් බැලීම සඳහා රෝහලට ගිය බවත් ඔහුගේ එක් ඇඟිල්ලක් කැපී වෙන් වී ඇති බවත් තවත් ඇඟිල්ලක් ශල්‍යකර්මයක් මගින් යථා තත්ත්වයට පත් කර ඇති බවත් පවසා සිටිති. එමෙන්ම මුහුණේ ද කැපුම් තුවාල තිබූ බවත් උන් වහන්සේ වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ.

මේ අතරේ ඝාතනය සිදු කළ තරුණයාගේ නැන්දනියක වූ අනූෂා ද සොයිසා පවසන්නේ ෆෙබ්රියෝ කැනඩාවට පැමිණ ඇත්තේ වසර දෙකකට පමණ පෙර දී බවත් මුල් මාසයේ දී සිය නිවසේ වාසය කළ බවත් ය. ඔහු ඉතා නිහඬ, යහපත් ගතිගුණ තිබී අයකු බවත් ඇය පවසයි. එමෙන්ම ඔහු වීඩියෝ ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී සිටි අයකු බවත් පවසයි. මේ ඝාතන සිදුවීමෙන් දිවි බේරාගෙන සිටින ධනුෂ්ක වික්‍රමසිංහ සහ මේ තරුණයා දැනහැඳුනුම්කමක් ඇති කර ගෙන ඇත්තේ තරුණයාගේ අධ්‍යාපනය ලබන විද්‍යාලයේ දී බවත්, ඔහු ධනුෂ්කගේ නිවසේ පදිංචියට ගොස් ඇත්තේ ඉන් අනතුරුව බවත් ඇය පවසයි. ඉන් පසු ඔහු සිය ඥාතීන් සම පැවති සියලු සබඳතා නවතා දැමූ බවත් ඇය තව දුරටත් පවසයි. දුරකතන අංක, සමාජ මාධ්‍ය සබඳතා ආදිය පවා අවහිර කළ බවත් ඇය පවසා සිටියි.

මේ අතරේ මිනිස් ඝාතන 6 කට සහ මිනිස් ඝාතනයක් සඳහා තැත් කිරීමක් සඳහා චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටින ෆෙබ්රියෝ ද සොයිසා කෙරෙහි අනුකම්පා දක්වන මෙන් මේ පවුලේ ගෘහ මූලික ධනුෂ්ක වික්‍රමසිංහ ඉල්ලා සිටින බව ද මාධ්‍ය වාර්තා කර සිටියි. මේ ඉල්ලීම තරමක් පුදුම සහගත බවත් මාධ්‍ය පවසා සිටියි.

මේ ඝාතනයේ අභිප්‍රාය තවමත් හෙළි වී නොමැත. මෙහි සැබෑ අරමුණ දන්නේ ඝාතනය කළ පුද්ගලයා පමණි. සමූහ ඝාතනයක් සිදු කරන්නට තරම් ආවේගයක් එකවර ඇති වූවක් විය නොහැකිය. එය සෑහෙන කාලයක පටන් සිතේ සැලසුම් කර ගෙන සිටි දෙයක් වන්නට ඇත. නිවසේ ගෘහ මූලික ධනුෂ්ක නොමැති අවස්ථාවක් බලා මෙය සිදු කරන්නට ඇත්තේ ද මේ නිසා විය යුතුය. කෙසේ නමුත් වැඩි දිනක් ගතවන්නට පෙර සියල්ල හෙළි වනු ඇත අපට එතෙක් කිසිවක් පැවසිය නොහැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර