චීනය අපෙන් රිලවුන් ඉල්ලන්නේ “මිනිස් -රිලා මුසුවක්”තැනීමට ද?

minis-rila

චීනය විසින් ශ්‍රී ලංකාවේ රිළවුන් හෝ වඳූරන් ඉල්ලා නැති බව චීන රජය නිල නිවේදනයක් නිකුත් කර තිබුණ ද, චීනයට ලංකාවෙන් රිළවුන් යැවීමේ කතාබහ තවමත් නිමා වී නැත. අපේ රටේ රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන කරා යැවෙන බවට පවසනු ලැබුව ද මේ පිළිබඳ කතාබහක් ඇතිවන්නට පටන් ගැනුණේ මොවුන් කෑමට හෝ රසායානාගර පරීක්ෂණ සඳහා හෝ යැවෙන්නට ඇති ඉඩකඩ වැඩි බැවිනි. එයට හේතුව චීනය තුළ වඳූරු මස්, ඔවුන්ගේ මොළ ආදිය සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවිනි. එමෙන්ම චීන විද්‍යාඥයෝ රිළවුන් සහ වඳූරන් විවිධ ඖෂධ වර්ග අත්හදාබැලීම සඳහා යොදා ගැනීම ද ඉතා ඉහළ මට්ටමින් සිදු වේ. එපමණක් නොව බුද්ධියෙන් ඉතා ඉහළ වානර වර්ග ජනනය කිරීමේ පරීක්ෂණ ද චීනය විසින් කරගෙන යමින් පවතී.

මොළය විශාලවත්ම හැකියාවන් ද ඉහළ මට්ටමක පවතින අතර මිනිසාගේ මොළය අනෙක් සතුන්ට වඩා විශාල නිසා වසර මිලියන ගණනක් තිස්සේ අනෙක් සතුන්ට වඩා ඉතා වේගයෙන් පරිණාමය වූ මිනිසා මේ වන විට ලෝකයේ බලය සහමුලින්ම අත්පත් කරගෙන සිටියි. මිනිසා සහ අනෙක් සතුන් අතර පරිණාමීය පරතරය අඩු කරනු සඳහා චීන විද්‍යාඥයන් මානව බුද්ධිය හැඩගස්වන්නේ යැයි අනුමාන කරන මිනිස් මොළයේ ජානයක් වඳූරන්ට ඇතුළත් කොට රසායානාගාර පරීක්ෂණ පවත්වාගෙන යයි.

planet

මේ අනුව බිහිවන්නේ සංක්‍රාන්ති වානර නියැදියක් (transgenic monkey model) වන අතර මේ පරීක්ෂණයේ අරමුණ වන්නේ මේ ඔස්සේ මානව සංජානනයේ පරිණාමය අවබෝධ කර ගැනීම බව චීනයේ කුන්මිං සත්ත්ව විද්‍යා ආයතනයේ ජාන විද්‍යාඥ බිං සු පවසයි.

මෙසේ බිහිකරගන්නා ලද වානරයන් මතකය සම්බන්ධ සහ හැඩතල හඳූනාගැනීමේ පරීක්ෂණවල දී ඉහළ හැකියාවක් පෙන්නුම් කරන ලද අතර මිනිස් දරුවන්ගේ මොළය වර්ධනය වන්නට ගතවන කාලයට සමාන කාලයක් මොවුන්ගේ මොළය වර්ධනය වන්නට ද ගත වී තිබේ. එමෙන්ම මොළයේ ප්‍රමාණයේ ද වෙනසක් සිදු ව නැත.

පසුගිය මාර්තු 27 වැනිදා චීනයේ ජාතික වෛද්‍ය සඟරාවෙන් මේ පිළිබඳ වාර්තාව මුල්වරට හෙළිදරව් කරන ලද අතර මෙයින් මිනිස් මොළය පිළිබඳ මෙතෙක් හෙළි කර නොගත් රහස් මෙන්ම ඉහළ බුද්ධියකින් යුක්ත වානර වර්ගයක නැගී සිටීම පිළිබඳව ඉඟි ද පළකෙරිණි.

මේ පරීක්ෂණ සඳහා බටහිර විද්‍යාඥයන් කිහිප දෙනෙකුගේ සහයෝගය ද ලැබී තිබූ නමුත් සමස්තයක් වශයෙන් බටහිර රටවල් පවසන්නේ මේ පරීක්ෂණවල පිළිවෙලක් නැති බව ය. මිනිසුන් ඇතුළු සියලු වානරයක් අයත් ප්‍රයිමේටාවන් ජානමය වශයෙන් කෙරෙන මේ වෙනස්කම් වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බව ද ඔවුහු පවසති.

කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ ප්‍රයිමේටාවන් පිළිබඳ විද්‍යාඥයකු වන ජෙම්ස් සිකෙලා පවසන්නේ මොළයේ පරිණාමයට සම්බන්ධ මානව ජාන අධ්‍යයනය කිරීම සඳහා සංක්‍රාන්ති වඳූරන් යොදාගැනීම ඉතා අවදානම් සහගත මාර්ගයක් බව ය. යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් පවසන්නේ මෙවැනි පරීක්ෂණ සිදුකිරීම ඉතා දුෂ්කර බවත් අවදානම් බවත් කලක පටන් අවබෝධ කරගෙන සිටිින නමුත් චීනය ඒ කිසිවක් ගණනකට නොගෙන ඉහළ තාක්ෂණික DNA ක්‍රමවේදයන් ද වඳුරන් උදෙසා භාවිත කරන්නට පටන් ගෙන ඇති බව ය.

බටහිර විිද්‍යාඥයන් කලක පටන් උත්සාහ කළේ මිනිසාගේ බුද්ධිමත් බවට හේතුවන ජාන මොනවාද යන්න සොයා ගැනීම බව ජෙම්ස් සිකෙලා පවසයි. මුලින්ම එම රටවල්වල මේ සඳහා භාවිතයට ගත්තේ මිනිස් මොළයට 98%කින් සමානකම් දක්වන චිම්පන්සින් ය. නමුත් මෙතෙක් එම පර්යේෂණ සාර්ථක වී නැත. චීනුන් දැන් උත්සාහ කරන්නේ ඔවුන්ට සොයා ගත නොහැකි වූ ‘මැණික’ කෙසේ හෝ ගොඩ ගැනීමට ය.

චීන විද්‍යාඥ සූ විසින් මිනිස් ජාන යොදා නිර්මාණය කරන ලද වඳූරන් සත්ත්ව අයිතිවාසිකම් සම්බන්ධ ගැටලුවක් ද මතුකරයි. විද්‍යාඥ සිකෙලා පවසන්නේ වඳුරන්, චිම්පන්සීන් වැනි වානර වර්ගයේ සතුන්ට මිනිස් ජාන එක් කිරීම කිසිදා නොකළ යුතු අවදානම් ක්‍රියාවක් වන බවත් එයට හේතුව මේ සතුන් මිනිසාට බොහෝ සමානකමක් දක්වන බැවින් අවසානයේ භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් ය.

ඔහු මේ සඳහා උදාහරණයක් ලෙස විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක් වන Planet of the Apes ගෙනහැර දක්වයි. චීන විද්‍යාඥයන්ගේ අරමුණ මේ හා සමාන වානර වර්ගයක් ලොවට බිහිකර ගැනීම බව ඔහු පවසයි. වානරයන් මානවයන් බවට පත්කිරීම සෑම අතින්ම බියකරු ප්‍රතිඵලයක් අත් කර දිය හැකි අතර අවසානයේ ඔවුන් සහ මිනිසුන් අතර නිමාවක් නොවන අර්බුදයක් ඇතිකරන්නට හේතුවක් වන බව ඔහුගේ අදහසයි. අනෙක එවැනි සත්ත්ව කොට්ඨාශයක් බිහි කරගැනීම මිනිසා වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වනු විනා ලෝකයට එවැන්නකින් කිසිදු ප්‍රයෝජනයක් ද නැති බව වැඩිදුරටත් ඔහු පවසා සිටියි.

චීන විද්‍යාඥයන් පවසා ඇති තවත් කාරණයක් වන්නේ මෙවැනි පරීක්ෂණ සඳහා යොදා ගත යුතු රිළවුන්, වඳුරන් ආදිය ප්‍රමාණාත්මකව විශාල බවත්, එතරම් ප්‍රමාණයක් සඳහා තම රටේ සිටින සියලු වඳූරන් යොදා ගැනීම ප්‍රයෝගික නොවන බව ය. ශ්‍රී ලංකාවෙන් ඔවුන් රිළවුන් හෝ වඳූරන් ඉල්ලා නැති බවට නිල නිවේදනයක් ලැබී තිබුණ ද ඔවුන්ට මේ පරීක්ෂණ සඳහා බාහිර මාර්ගයකින් රිළවුන් සහ වඳූරන් අවශ්‍ය වන බව ඉහත කාරණාවෙන් ඉස්මතු වෙයි. එබැවින් අප රටෙන් චීනයට සැබවින්ම රිළවුන් අවශ්‍ය නම්, ඒ සත්වෝද්‍යානවලට ද නැතහොත් රසායානාගාර පරීක්ෂණවලට යන සැකය නැවත පහළ වේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර