ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත් කලාවේ ප්‍රවීණයෙකු මෙන්ම දි අයිලන්ඩ් සහ සන්ඩේ ලීඩර් ඇතුළු පුවත්පත් කිහිපයක හිටපු ප්‍රධාන කර්තෘවරයෙකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මෙරට පුවත්පත් කලාව තුළ නිර්භීත සහ ස්වාධීන මතධාරියෙකු ලෙස කීර්තියක් දිනා සිටි ඒ මහතා, මීට දශක තුනහමාරකට පමණ පෙර විජිත යාපා මහතාගෙන් පසු ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය භාරගනිමින් එම පුවත්පත මෙරට ප්‍රමුඛතම ඉංග්‍රීසි පුවත්පතක් බවට පත් කිරීමට පුරෝගාමී විය.දේශීය මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව පුළුල් දැනුමකින් හෙබි වූ වීරකෝන් මහතා, විදේශීය රාජ්‍ය නායකයින් සමඟ පවා සමීප සබඳතා පැවැත්වූ මාධ්‍යවේදියෙකි. විශේෂයෙන්ම හිටපු පාකිස්තාන ජනාධිපති ජෙනරාල් සියා උල් හක් වැනි නායකයින් සමඟ ඔහු පැවැත්වූ සමීප සබඳතා මෙරට මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂී සටහන් තබා ඇත.මෙරට යුද වාර්තාකරණයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ 1987 වසරේ “වඩමාරච්චි මෙහෙයුම” සමයේදී, ආරක්ෂක අමාත්‍යාංශයේ ඇරයුමෙන් මුල්වරට මාධ්‍ය ආවරණ සඳහා ඡායාරූප ශිල්පීන් සහ වාර්තාකරුවන් උතුරු පළාතට යොමු කිරීමට ගාමිණී වීරකෝන් මහතා පියවර ගත්තේය. වර්තමානයේ මෙන් පහසුකම් හෝ ආරක්ෂාව නොතිබූ එවන් දුෂ්කර වාතාවරණයකදී පවා නිවැරදි තොරතුරු ජනතාව වෙත ගෙන ඒමට ඔහු සිය කණ්ඩායම මෙහෙයවූයේ අභීත පුවත්පත් සෙන්පතියෙකු ලෙසිනි.ලොව සිදුවන ඕනෑම නිෂ්ඵල හෝ හාස්‍යජනක සිදුවීමක් ඉතා සියුම් උපහාසයට ලක් කිරීමේ නිසඟ හැකියාවක් ඔහු සතු විය. කාර්යබහුල සහ අභියෝගාත්මක වෘත්තීය ජීවිතයක් ගත කළද, ඔහු සැමවිටම ඉතා සැහැල්ලු, නිහඬ මෙන්ම ගැඹුරු කල්පනාවකින් යුත් නියම මහත්මයෙකු ලෙස සමකාලීන මාධ්‍යවේදීන්ගේ ගෞරවයට පාත්‍ර විය.පසුගිය මාසය වනතෙක්ම සිය පාඨකයන් වෙනුවෙන් පෑන් තුඩ හැසිරවූ ඔහු මාධ්‍ය ලොව සදා නොමැකෙන නාමයක් රැඳවූ අභීත මාධ්‍යවේදියෙකි.ගාමිණී වීරකෝන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහු යටතේ සේවය කළ සමකාලීන මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍ය ක්ෂේත්රයේ බොහෝ පිරිසක් සිය බලවත් ශෝකය පළ කර සිටිති.