දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීමෙන් වකුගඩුවලට හානි වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම යන රෝග තත්වයන් තුනම හෘදයාබාධ ඇතුලු හෘද රෝග ගණනාවක් ඇති කිරීමට හේතුවන ප්‍රධානතම අවදානම් සාධක වේ. මෙම රෝග තත්වයන් තුනම නිට්ටාවටම සුව කළ නොහැකි නමුත් නිතිපතා ඖෂධ ලබා ගැනීම මගින් මනා ලෙස පාලනය කර ගත හැක. නමුත් එසේ පාලනය කර පවත්වා ගැනීම සඳහා දිනපතාම මුලු ජීවිත කාලය පුරාම ඖෂධ ලබාගත යුතුවේ. මීට අමතරව හෘදයාබාධ ඇතුලු විවිධ ලෙඩ රෝග සෑදුනු විටද එම තත්වයන් පාලනය කර ගැනීම සඳහා ජීවිත කාලය පුරා ඖෂධ ලබා ගැනීම සිදු කළ යුතුය.
නමුත් මෙසේ දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීම මගින් වකුගඩු ඇතුලු අනෙකුත් ඉන්ද්‍රියයන් වලට හානි සිදුවී ඒවා නරක් වන බවට බොහෝ දෙනෙක් අතර මතයක් පවතී. මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තත්වයන් හොඳින් පාලනය නොවී කලක් පවතින විට එම රෝග තත්වයන් මගින් වකුගඩු ඇතුලු අනෙකුත් ඉන්ද්‍රියයන් වලට හානි පැමිණීමයි.
සමහර අය එම රෝග තත්වයන් සඳහා ඖෂධ ලබා ගත්තත් රෝගය හොඳින් පාලනය නොවුනොත් ඔවුන්ගේද එකී ඉන්ද්‍රියයන් වලට හානි සිදුවිය හැක. බොහෝ දෙනෙක් මෙසේ හානි සිදුවීම ඔවුන් ලබා ගන්නා ඖෂධ මගින් සිදුවන්නේ යැයි වැරදි ලෙස වටහා ගනිති.

රෝග තත්වය ඖෂධ ලබා ගැනීම මගින් හොඳින් පාලනය වුවහොත් ඉන්ද්‍රියයන්ට වන හානිය බොහෝ දුරට වළක්වා ගත හැකි අතර රෝගය ඖෂධ මගින් යම් පමණකට හෝ පාලනය වුවහොත් ඉන්ද්‍රියයන්ට වන හානිය ද යම් පමණකට වළක්වා ගත හැකිය. නමුත් රෝගය සඳහා ඖෂධ නොගෙන සිටියහොත් ඉන්ද්‍රියයන්ට හානි වී අක්‍රිය වීම ඉතා ඉක්මණින් සිදුවිය හැකියි.
දියවැඩියාව සඳහා ලබා දෙන මෙට්ෆොමින් (Metformin) නම් ඖෂධය නිසා වකුගඩුවලට හානි සිදුවනු ඇති බවට බොහෝ දෙනා අතර මතයක් පවතී. මෙසේ වැරදි විශ්වාසයක් ඇති වීමට හේතුවන්නේ වකුගඩු දුර්වල වී ඇති දියවැඩියා රෝගීන්ට මෙට්ෆොමින් පෙති ලබා දීම වෛද්‍යවරුන් විසින් නතර කරනු ලබන නිසා විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙට්ෆොමින් යනු දියවැඩියා රෝගීන්ට මූලික වශයෙන් ලබා දෙන සීනි පාලනය සඳහා ඉතාමත් වැදගත් ඖෂධයකි. මෙට්ෆොමින් ඖෂධය ශරීරයෙන් බැහැර කෙරෙන්නේ වකුගඩු හරහා වන බැවින් වකුගඩු දුර්වල වී ඇති රෝගීන්ට මෙම ඖෂධය ලබා දෙන්නේ නැත. එවැනි රෝගීන් හට මෙම ඖෂධය ලබා දීම නතර කරන්නේ එසේ ඖෂධයේ ක්‍රියාකාරිත්වයෙන් පසු සිරුරෙන් බැහැර කිරීමට ඇති අපහසුතාවය නිසා මිස මෙට්ෆොමින් ඖෂධය මගින් වකුගඩුවලට හානි වන නිසා නොවේ.
රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය පාලනය කිරීමට දෙන ඇටෝවැස්ටටින් (Atorvastatin) සහ රොසුවැස්ටටින් (Rosuvastatin) වැනි ඖෂධවලින් වකුගඩුවලට හානි සිදුවන බවට ද සමහර අය අතර තවත් මතයක් තිබුණත් එහිද කිසිදු සත්‍යතාවයක් නොමැත.
මේ නිසා ඔබගේ සිරුරේ සියලුම ඉන්ද්‍රියයන් (වකුගඩු, අක්මාව, හෘදය, ඇස් ආදී) ආරක්ෂා කර ගැනීමට නම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග වැනි රෝග තත්වයන්වලට නිති පතා නිසි ලෙස ඖෂධ ලබා ගැනීම තුලින් හොඳින් පාලනය කර පවත්වා ගන්න.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්