සමාජයේ බොහොමයක් දෙනා කීර්තිමත් පුද්ගලයන් ගේ ඕපාදූප පසුපස ලුහු බඳින්නේ ඇයි?

සති අන්ත පුවත්පතක් නිවසට රැගෙන විට බොහෝ දෙනෙකු මුලින්ම කියවන්නට තෝරා ගන්නේ විවිධ නම්වලින් ඇති අතිරේකයන්ය. අතිරේකයන් කිහිපයක් තිබේ නම් නළු නිළියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප සහිත අතිරේකය තෝරා ගෙන කියවන්නට පටන් ගන්නා බව නිතර දෙවේලේ අත්දකිනු හැකි දෙයකි. ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍යවලට පිවිසෙන බහුතරයකගේ තත්ත්වය ද එසේමය. ඕපාදූප පිළිබඳ උනන්දුවක් නොමැති අය පවා මදක් නැවතී මෙවැනි ඕපාදූප කියවන්නට කාලය මිඩංගු කරන්නට දෙවරක් සිතන්නේ නැත. මිනිසා නම් සමාජ සත්ත්වයා ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ දක්වන්නේ එවැනි උනන්දුවකි. විශේෂයෙන් කන බොන ආකාරය, ගමන් බිමන්, විවාහ, ආදර සබඳතා ආදිය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි.

“අනේ මට නම් ඔය නළු නිළියන්ගේ, ප්‍රසිද්ධ මිනිසුන්ගේ ඕපාදූපවලින් වැඩක් නෑ” මෙසේ පවසන අය ඔබට ඕනෑ තරම් දැක ඇති. නමුත් එසේ පවසන අයම ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ සොයන්නට දක්වන්නේ පුදුම උනන්දුවකි. මේ ඇතැම් ප්‍රවෘත්ති සර්ව සම්පූර්ණ සත්‍ය නොවේ. අනුමානයක් ලෙස සිතා පළ කරන ඕපාදූප ප්‍රවෘත්ති, බැලූ බැල්මට පෙනෙන්නේ සත්‍ය ප්‍රවෘත්තියක හැටියටය. ස්වකීය බුද්ධියෙන් විමසා බලා යමක් අවබෝධ කරගන්නට සමත් අය හැර සෙසු සියල්ලෝම ඕපාදූප ප්‍රවෘත්ති සියල්ල සත්‍ය යැයි සිතයි.

ඕපාදූප යනු කවුරුන් හෝ කීර්තිමත් පුද්ගලයකු පිළිබඳ වූ ඍණාත්මක හෝ දොස් දකින කතාබහක් යැයි ඇතැමුන් නිර්වචනය කරන්නට උත්සාහ ගත්ත ද, සැබවින්ම ඕපාදූප යනු එකිනෙකා අතර හුවමාරු වන සමාජමය තොරතුරක් පමණි. මේවා සම්බන්ධව කරන ලද එක් සමීක්ෂණයකින් හෙළි වූයේ ඇතැම් ඕපාදූප කිසිදු රසවත් බවකින් තොර ධනාත්මක හෝ ඍණාත්මක බලපෑමක් ඇති කළ නොහැකි තොරතුරුැ පමණක් බවය.

ප්‍රසිද්ධ හෝ කීර්තිමත් පුද්ගලයන් පිළිබඳ ඕපාදූප සෙවීමෙහි වරදක් නොමැති බව ද ඔවුන්ට ආදරය කරන්නන් කුළ පවතින විශ්වාසයකි. එයට හේතුව මේ කීර්තිමත් පුද්ගලයන්, තමාට ආදරය කරන බහුතරයක් දෙනාව පෞද්ගලිකව නොදන්නවා වුව ද, ආදරය කරන රසිකයින් හෝ අනුගාමිකයින් එකී පුද්ගලයා පිළිබඳ ඔහුටත් හෝ ඇයටත් වඩා විස්තර දනියි. ඔවුන් සිතන්නේ එකී කීර්තිමත් පුද්ගලයා තමාගේ ජීවිතයට බද්ධ වූ චරිතයක් ලෙසිනි. මෙය හඳුන්වනු ලබන්නේ ‘සමාජමය මට්ටමෙන් ඔබ්බට ගිය’ හෙවත් ‘පරාසමාජමය සබඳතාවක්’ (parasocial relationship) ලෙසිනි. එසේත් නැත්නම් සිතින් මවා ගත් සබඳතාවකි. එවිට එකී කීර්තිමත් පුද්ගලයා යම් ජයග්‍රහණයක් ලබද්දී ඔහුගේ පවුලේ පුද්ගලයකු හා සමානවම අනුගාමිකයෝ ද ජය සමරති. එසේ හෙයින් එකී පුද්ගලයා පිළිබඳ ඕපාදූවවලින් හෝ තොරතුරු දැන ගැනීම තමාගේ වගකීමක් ලෙස ද සලකා ඔවුහු කටයුතු කරති.

ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ ඕපාදූප ප්‍රවෘත්ති නරඹන බහුතරයක් දෙනා මෙවැනි ප්‍රසිද්ධ චරිත කෙරෙහි යම් ආදරයක් පළ කරති. මෙය නළු නිළියන්, ගායක ගායිකාවන් වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතවලට මේ ආදරය විශේෂයෙන් හිමි වෙයි. මේ නිසාම එවැනි පුද්ගලයන් යම් වැරදි ක්‍රියාවක්, සමාජ සම්මතයට අනුකූල නොවන යම් කිසිවක් සිදු කළ ද බහුතරයක් ඒ පිළිබඳ වැරදි ඇසකින් බලන්නේ නැත. මේවාට ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතවලින් ඕනෑ තරම් නිදසුන් ගත හැකිය. අසල්වැසි ඉන්දියාවේ අමිතාබ් භච්චාන් එවැනි චරිතයකි. ඔහුට ආදරය කරන්න්නෝ ලෝකය පුරා තවමත් විසිරී සිටිති. ඒ නිසාම ඔහු පිළිබඳ ඕපාදූප සොයන්නන් ද අධිකය. ඔහු විවාහ වූයේ ජයා බච්චාන් සමග වුව ද හින්දි සහ දෙමළ සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පිනියක වූ රේඛා සමග අනියම් පෙමක බැඳී සිටියේය. එය ක්ෂේත්‍රය තුළ පමණක් නොව ලොව පුරාම ප්‍රසිද්ධව ගිය කාරණයකි. නමුත් මෙවැන්නක් කළ සාමාන්‍ය පුද්ගලයකුට එල්ලවන අපවාද කිසිවක් ඔහුට හෝ රේඛාට ප්‍රබල ලෙස එල්ල වූයේ නැත. ඒ ගැන කිසිවකු තදබල ලෙස ප්‍රශ්න කළේ ද නැත. අද ද ඔහු ස්වකීය ‘කීර්තිමත්’ තත්ත්වය හොඳින් පවත්වාගෙන යයි. වේල්ස්හි ඩයනා කුමරිය ද මේ සඳහා ගත හැකි තවත් නිදසුනකි. ඇය විවාහ වූයේ එංගලන්ත කිරුළ හිමි චාල්ස් කුමරු සමගිනි. නමුත් ඇය සිය මරණයට පෙර අනියම් පෙම් සබඳතා කිහිපයක්ම පැවැත්වූවාය. නමුත් ඩයනා කුමරියට ආදරය කරන්නන් හට ඒවා ගැටලු වූයේ නැත. ඔවුන් ඒවා ගණනකට ගත්තේ ද නැත. අද පවා ඩයනා කුමරිය ගැන කතා කරන විට මේවා කිසිවක් ඉස්මතු කොට කතා කරන්නට කිසිවකු ඉදිරිපත් වන්නේ ද නැත. අප රටේ ද එවැනි උදාහරණ ඕනෑ තරම්ය. යම්කිසි ගායකයකු සමාජ සම්මතයට අනුකූල නොව කිසිවක් සිදු කළේ නම් බහුතරයක් පවසන්නේ ඔවුන් ආදරය කළේ එකී පුද්ගලයාට නොව ගායකයාට බවය. පුද්ගලයා කුමක් කළ ද ඔහු තුළ සිටින ගායකයාට ඇති ආදරය අඩු කරන්නට ඒ කිසිවක් හේතු වන්නේ නැති බව බවය.

ප්‍රසිද්ධ හෝ කීර්තිමත් පුද්ගලයින් පිළිබඳ ඕපාදූප කියවීම මානසික ආතතිය අඩු කරගැනීමේ උපක්‍රමයක් ලෙසින් ද අර්ථ දක්වා තිබේ. යම්කිසි පුද්ගලයකු සතුව ඇති අතෘප්තකර ස්වභාවය, නොසතුට, ආතතිය වැනි මානසික තත්ත්වයන්ගෙන් සහනයක් ලබාගන්නට මේ තුළින් හැකියාව ලැබේ. කෙසේ වෙතත් යම්කිසි කීර්තිමත් පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතයේ යම් බිඳ වැටීමක් සම්බන්ධ ඕපාදූප සිය මිතුරන් සමග කතා බහ කිරීමෙන් එකී පුද්ගලයාට හානියක් සිදුවන්නේ නැත. නමුත් සමාජ මාධ්‍ය හමුවේ යම්කිසි පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ ඕපාදූප නිතර නිතර ප්‍රචාරණය කරන්නට තීරණය කළ හොත් එය බොහෝ විට එකී ප්‍රසිද්ධ පුද්ගලයාට එය පෞද්ගලික බලපෑමක් එල්ල කරන්නට ඉඩ තිබේ.

මෙය කියවන ඔබ කීර්තිමත් පුද්ගලයන්ගේ ඕපාදූපවලට ආදරය කරන්නෙක් විය හැකිය. ඇතැම්විට ඔබට එය දැනගන්නට ලැබෙන්නේ ප්‍රධාන මාධ්‍යයක් හරහා නොවන්නට පුළුවන. එවැනි අවස්ථාවක දී තමා අන් අයට වඩා එකී පුද්ගලයා පිළිබඳ දැන සිටින බව පෙන්වන්නට ගොස් ඒවා සමාජ මාධ්‍යවලට මුදා හරින්නේ නම්, එය එකී පුද්ගලයාට සිදුවන අපහාසයකි. එසේ හෙයින් ඕපාදූපවලට ආදරය කළාට ගැටලුවක් නැත. නමුත් ඔබ අතින් ද එයට ලුණු ඇඹුල් යොදා නැවත ප්‍රචාරය නොකර සිටීම වඩාත් යහපත් දෙයකි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර