නම අසන්නට වත් අකමැති “පිළිකාව”ගැන ඇත්ත දැනගනිමු

මිනිසෙකුට වැළඳිය හැකි දරුණුම රෝගය වශයෙන් ජන සම්මත රෝගය පිළිකාවයි.පිළිකාවක් වැළඳීම යනු නියත වශයෙන්ම මරණය බව බොහෝ දෙනෙකු තුළ තිබෙන විශ්වාසයයි.ඒ නිසා අපි බොහෝ දෙනෙක් නම ආසන්නටවත් අකමැති පිළිකාව ගැන ඇත්ත ඇති සැටියෙන් විමසා බලමු .
ඔබ උපන්දා සිට ලොකු මහත් වුවත් ඔබේ ශරීරය උස යන්නේ අවුරුදු විස්සක් පමණ වන තුරු පමණයි. ඉන්පසු උස යාම නතර වෙනවා . නමුත් අපේ ශරීරය තුළ හටගන්නා පිළිකාව යනු එවැන්නක් නොවෙයි. එය නොනැවතීම වර්ධනය වෙනවා. එම වර්ධනයේ අවසානය තීරණය වන්නේ පිළිකා ගෙඩිය පිහිටා ඇති ස්ථානය අනුවයි. පිළිකාව ශරීරයේ ඉඩ අඩු ස්ථානයක පිහිටියහොත් එම පිළිකා ගෙඩිය විසින් ටික කාලයක් තුළදී ම ඒ මුළු පරිසරයම තදබදයකට ලක් කරනවා. හොඳම උදාහරණය තමයි මොළය . හිස් කබල තුළ ඉඩ තිබෙන්නේ මොළයට පමණයි .වෙනත් කිසිවකට ඒ තුළ ඉඩක් ඇත්තේ නෑ. එබැවින් මොළයෙහි පිළිකාවක් වර්ධනය වීම සිදු වුවහොත් ඉක්මනින්ම හිස්කබල තුළ ඇති සියල්ල ලොකු තදබදයකට ලක් වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ රෝගියාට ඉවසිය නොහැකි හිසරදයක් හට ගැනීමයි. එය තවදුරටත් වර්ධනය වීම තුළින් වමනය සමග ක්‍රම ක්‍රමයෙන් සිහිසුන් වීම සිදුවෙනවා. ඒ සියලු දේවල්වල අවසානය මරණයයි. එවිට පිළිකාව ද මිය යන නිසා එම පිළිකාවේ වර්ධනය එතැනින් අවසන් වෙනවා.නහර ඉතා අධිකව පිහිටා ඇති ස්ථානයක පිළිකාවක් හටගත්තොත් මෙය මුලින් කුඩාවට හටගෙන නහරයක් තුළට වැටුණු විගසම එම නහරය දිගේ ගලා යන රුධිරයට පිළිකා කොටස් එකතු කරනු ලබනවා. එහි ප්‍රතිඵලය වන්නේ නහර දිගේ පිළිකා කොටස් ගසා ගෙන යාමයි. එවැනි පිළිකාවක් හටගත් මුල් ස්ථානයේදී එය විශාල නොවුණත් ශරීරයේ වෙනත් තැන් වල පැළවෙන පැළෑටි මෙන් තැන්පත් වී කුඩා ගෙඩි ලෙස වර්ධනය වන්නට පටන් ගන්නවා. නහර දිගේ ගලාගෙන යන දේවල් අල්ලා ගැනීමට දැලක් එළා ඇති ආකාරයට ක්‍රියා කරන අපේ ශරීරයේ පෙනහළු, වසා ගැටිති සහ අක්මාව වැනි ස්ථානයක මෙය තැන්පත් වුණොත් එතැන පිළිකාව වර්ධනය වීම සිදු විය හැකියි.
මෙසේ කොතැනක හෝ පිළිකා ගෙඩියක් වර්ධනය වන විට එම ස්ථානයේ ඇති කරන තෙරපුම සහ අවහිර කිරීම රෝගයක් ලෙසයි අපට පෙන්නුම් කරන්නේ. එය මේ විදිහට උදාහරණ කීපයකින් විස්තර කරන්න පුළුවන්.
ගෙඩිය ආහාර මාර්ගය අවහිර කළොත් මල බද්ධය හටගත හැකියි .
ගෙඩිය නිසා පිත්තාශ පද්ධතිය අවහිර වීමක් සිදු වුණොත් ශරීරයේ පිත පිටවීමට බාධා ඇතිවීමෙන් මුළු ශරීරයම කහ පැහැ වෙන්න පුළුවන්.
සුෂුම්නාවේ ස්නායුවල අවහිරවීම සිදුවුණොත් දෙපා පණ නැතිව යන්නට ඉඩ තිබෙනවා .
ශ්වාස නාලය අවහිර වු⁣ණොත් හුස්ම හිරවෙන්න පුළුවන්.
ඇතැම් අවස්ථාවලදී පිළිකා ගෙඩි විසින් සිදු කරන්නේ අපේ ශරීරය තුළ යම් යම් දේ වැගිරවීමයි.
පෙනහළු පිළිකාවක් නම් වතුර වගුර වනවා .
මුත්‍රා මාර්ගයේ නම් මුත්‍රා සමග ලේ, ආහාර මාර්ගයේ නම් මල සමග ලේ, හුස්ම මාර්ගයේ නම් කහින විට ලේ වශයෙන් මෙම වැගිරවීම සිදු කළ හැකියි. කාන්තා අවයවවල ද මෙලෙස දියරයක් වගුරවන්නට ඉඩ ඇති අතර විශේෂයෙන් ආර්තවහරණය සිදු ව ඇති වයස්ගත කාන්තාවකට නැවත ඔසප් පිට වීම සිදුවිය හැකියි. නමුත් මෙසේ කී පමණින් කාන්තා අවයවවලින් දියරයක් පිට වන හැම අවස්ථාවකම එයට හේතුව පිළිකාවක් යැයි ඔබ වරදවා වටහා ගත යුතු නෑ .
සමහර පිළිකා වර්ග ඉහත ක්‍රම දෙකටම වඩා වෙනස් විදියටයි ක්‍රියා කරන්නේ. ඒ අනුව ඇතැම් පිළිකා වර්ග හෝමෝන සහ විවිධ රසායන ද්‍රව්‍ය නිපදවනු ලබනවා.මෙසේ හෝමෝන වැඩිය නිපදවන විට එම හෝමෝන නිපදවන අදාළ ග්‍රන්ථිය විසින් සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලිය අධිවේගී තත්ත්වයට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් ඇඩ්‍රිනලින් ග්‍රන්ථියේ හෝමෝන නිපදවීම අධික වුවහොත් අධික රුධිර පීඩනයක් ඇති විය හැකියි. ඒ වගේම ආහාර මාර්ගයට විෂ රසායනික නිකුත් කරනු ලැබුවහොත් කෑම අරුචිය ඇතිවී ඉතා ඉක්මනින්ම රෝගියාගේ සිරුර කෙසඟ තත්ත්වයට පත් වෙනවා.
බොහෝ පිළිකා වර්ගවලදී හට ගත හැකි ලක්ෂණයක් වන්නේ උණයි.
සමහර පිළිකා නිසා ශරීරයේ හිරි වැටීම්, සමේ අමුතු ලප, නියපොතුවල අසාමාන්‍ය ලප වැනි දේවල් ඇති විය හැකියි .
ලේ පිළිකා හෙවත් ලියුකීමියා තවත් බහුල පිළිකා විශේෂයක්. මෙහිදී ශරීරයේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා යන මේ සියල්ලම අඩු වෙනවා. ඩෙංගු වල මෙන්ම සම මත රුධිරය ගලා රතු පැල්ලම් ඇති වන අතර ශරීරයේ ලේ අඩු වීමෙන් ඇඟ සුදුමැලි වීම ද සිදු වෙනවා. සුදු රුධිරාණු අඩුවීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණීමෙන් විවිධාකාර රෝගවලට ලක්වීම ද මෙම පිළිකාවෙහි ලක්ෂණයක්.
ඉහත ද කී පරිදි ලේ නහරවල ගසා ගෙන යන පිළිකා කොටස් වසා ගැටිති හෙවත් කුද්දැටිවල තැන්පත් වීමෙන් හට ගන්නා වසාගැටිති පිළිකාවලට අමතරව, වසාගැටිතිවලින්ම ආරම්භ වී සෑදෙන පිළිකා විශේෂයක් ද තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ලිම්ෆොමා නමින්. ලියුකීමියාවලදී ද කුද්දැටි විශාල විය හැකි අතර ලිම්ෆොමාවලදී කිසිදු වේදනාවක් නැතිව කුද්දැටි විශාල වීම සිදු වෙනවා. ඒවගේම මෙම පිළිකාවෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ නොනවත්වා පවතින උණ සහ රාත්‍රියට දහඩිය දැමීමයි.
පිළිකා මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ඉවත් කිරීම ඉතා සාර්ථකයි. නමුත් බොහෝවිට පිළිකා හඳුනා ගන්නට හැකි වන්නේ හදිසියේ එක්වරම යි .එසේ වුවද ඔබ තුළ සැකයක් ඇත්නම් වෛද්‍යවරයකු වෙතින් ඔබට පරීක්ෂා කරවා ගන්න පුළුවන්. එක්ස්රේ, එන්ඩොස්කොපි, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ වගේම සීටී ස්කෑන් පරීක්ෂණ, බ්‍රොන්කොස්කොපි, බෝන්මැරෝ වැනි සංකීර්ණ පරීක්ෂණ පවා මෙහිදී සිදු කර ගත හැකියි.
සැක සහිත ගෙඩි වල පටක පරීක්ෂණයක් හෙවත් බයොප්සි පරීක්ෂණයක් සිදු කිරීම මගින්ද සමහර පිළිකා හඳුනා ගන්නවා.
ඇතැම් පිළිකා සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්.නමුත් පිළිකාවෙන් මිය යන අය ගැන මිසක් පිළිකාවෙන් සම්පූර්ණයෙන් සුව වෙන අය ගැන තොරතුරු සමාජ ගත වෙන්නේ නැහැ.බොහෝ විට පිළිකා රෝගයක් ගැන තොරතුරු අනාවරණය වෙන්නෙ මරණයක් මුල් කර ගෙන විතරයි.පිළිකා සඳහා විෂ අධික, මිල අධික ඖෂධ ඇති අතර ඒවා අලුත් වෙමින් නොනැවතීම නිෂ්පාදනය වීමද සිදුවෙනවා. එසේ ම සංකීර්ණ ශල්‍යකර්ම හා විකිරණ මගින් පුළුස්සා දැමීම ද පිළිකා සඳහා වන තව ප්‍රතිකාර ක්‍රමයක්. තවත් සමහර පිළිකාවලට කිසිදු ප්‍රතිකාරයක් නෑ.
පිළිකාවක් වැළඳුණු පසු සුවකර ගැනීම සඳහා ඔබ ඔබේ වෛද්‍යවරයාට කීකරු විය යුතුයි.එය පිළිකාව සුව කර ගන්නට ඔබට විශාල පිටිවහලක් වේවි. යම් අයුරකින් පිළිකාව මුළුමනින්ම සුවපත් කළ නොහැකි අවස්ථාවක පසුවන අයට විතරක් ජීවත් වන කාලය තුළ සුවෙන් සැනසුමෙන් සිටීමට වෛද්‍යවරයා උදව් කරනු ඇති.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ
වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය